November 29, 2021

Ada Rata

All news in one location

ගුරුවරුන්ගේ සටන ජයග්‍රහණය කරා ගෙනයෑමේ වගකීම ජනතාව බාරගත යුතුයි



21 වැනිදා පාසල් විවෘත කිරීමත් සමග යළි සේවයට වාර්තා කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති තීරණය කිරීම කි‍සිසේත්ම ගුරු-විදුහල්පති වැටුප් අරගලය ආපසු හැරවීමක් හෝ පරාජයට පත්වීමක් හෝ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 21 වැනිදා පාසල් විවෘත වන නමුත් 25 වැනිදා දක්වා අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එය ආණ්ඩුව ලැබූ බරපතල පරාජයක් බවත් එම පක්ෂය පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගුරු විදුහල්පති ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ජනතාවද එක්විය යුතු බවත්, එය සිය වගකීමක් ලෙස ජනතාව සැළකිය යුතු බවත්ය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා,

පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරගෙන ආවා. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සුබෝධිනී කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමයි. නමුත් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කළේ අරගලය නොසලකා හරින හා සටනට අවලාද එල්ල කරන පිළිවෙතකුයි. එය දරුවන්ට එරෙහිව කරන සටනක් ලෙස අර්ථ ගන්වා ගුරුවරුන් හා  දෙමව්පියන් අතර ගැටුමක් ඇති කරවීමට ආණ්ඩුව උත්සාහ කළා. ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන බවට මතයක් සමාජයට දෙන්න හැදුවා. 

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතු වී ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ, ඔවුන්ගේ සාධාරණ සටන අඛණ්ඩව කරගෙන යන අතර දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අයිතිය තමන් විසින් පවරා ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමයි. ආණ්ඩුව විසින් තීරණය කරන ලද 21 හා 22 පාසල් නොයෑමටත් ඒ වෙනුවට 25 වැනිදා සිට දරුවන්ට ඉගැන්වීම භාර ගැනීමට ඔවුන් රටට සහතිකයක් ලබා දුන්නා. එය ඉතාමත් නිවැරදි තීන්දුවක්. එම තීන්දුව නිසා ආණ්ඩුවේ දුෂ්ට උත්සාහයන් සියල්ල පරාජයට පත් වුණා. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරන්න හදපු විරෝධය අසාර්ථක කරන්න එමගින් හැකිවුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් ඉතාමත් නිවැරදි ලෙස තීන්දුවක් ගත්තා. එම තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළ කරනවා. රටේ ජනතාවත් විශේෂයෙන් දෙමව්පියන් මේ ගැන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තූතිය පළ කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ට වඩාත්ම ආදරය කරන්නේ තමන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූවා. ආණ්ඩුව තමන් දරුවන්ට ඉතාමත් ආදරය කරන බව පෙන්වීමට බොරුවට රඟපාමින් සිටියා. ඔවුන් දරුවන්ට ආදරය කළානම් අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කළ යුතුව තිබුණා. පාසල්වල අඩුපාඩුකම් සම්පූර්ණ කළ යුතුව තිබුණා. දරුවන්ට උගන්වන ගුරුවරුන් විසින් ඉල්ලන අවම වැටුප දිය යුතුව තිබුණා. ඒ කිසිවක් ලබා නොදී සල්ලි නාස්ති කරමින් සිටින ආණ්ඩුව අද දරුවන් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ආණ්ඩුවට වඩා තමන් වගකීම් ඉටු කිරීමට සූදානම් බව ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීරණයක් ගැනීමෙන් පෙන්වා දුන්නා.

මෑත කාලයේ වැඩිම ජනතා සහයෝගයක්, ප්‍රසාදයක් ලබා ගත් අරගලයක් බවට ගුරු විදුහල්පති අරගලය පත්වුණා. වැටුප් විෂමතා ගැටලුව විසඳන බවට පොරොන්දු වී ගුරුවරුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණි ආණ්ඩුව එම අරගලය හමුවේ කටයුතු කළේ ඉතාමත් දුෂ්ට හා මර්දනකාරී ආකාරයෙනුයි. උද්ඝෝෂණවලදී පොලීසිය ලවා ගුරුවරුන් ගුරුවරියන් අත්අඩංගුවට ගත්තා. නිරෝධායන නීති කැඩූ බවට රිමාන්ඩ් කළා. ආණ්ඩුව නිරෝධායන නීති ඇති තරම් කඩමින් සිටියෙදී නිරෝධායන නීති රකිමින් අරගලයේ යෙදුණු ගුරුවරුන්ට හිරිහැර කළා. නමුත් මෙයින් සිදු වූයේ ගුරු අරගලය තවත් මුවහත් වීම පමණයි. එය මෑත කාලයේ ශක්තිසම්පන්නම, සටන්කාමීම සහ සමගිසම්පන්නම අරගලය බවට පත් වුණා. අදටත් ඔවුන් එලෙසම ඒ සටනේ සිටිනවා. නමුත් ආණ්ඩුව තමන්ට හිතවත් සමාජ මාධ්‍ය, කුලී ලියන්නන් පාවිච්චි කරමින් ගුරු සටනට දිගින් දිගටම මඩ අවලාද නැගුවා. ගුරු පොකුරු හැදුණු බව, මිය නොගිය අය පාවිචිචි කරමින් මරණ දැන්වීම් පවා හැදුවා. 

මෙයින් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විරෝධය වැඩි වුණා. ආණ්ඩුව ගුරුවරුන් හා දෙමව්පියන් අතර ගැටුමක් හදන්න හැදුවේ ඉන් පසුවයි. ආණ්ඩුව ඔක්තෝබර් 21 පාසල් කොටසක් විවෘත කරන්න තීන්දුවක් අරගෙන ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය නොසලකන බව පෙන්වන්න හැදුවා. ඒ වෙනුවෙන් නාට්‍යමය ජවනිකා කිහිපයකුත් හැදුවා. ඇමතිවරුන්ගේ හෙංචයියන් දෙමව්පියන් ලෙස රඟපාමින් මෙවැනි මත සමාජයට ගෙනියන්න හැදුවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීන්දුවක් අරගෙන ආණ්ඩුවේ උත්සාහය පරාජය පත් කරන්නේ මෙවැනි මොහොතකයි. ගුරු – විදුහල්පතිවරු ඉදිරියේ ආණ්ඩුව නැවත වතාවක් පරාජයට පත් වුණා. ජනතාවගේ ගෞරවය දිනා ගනිමින් සටන් කරන්නේ කොහොම කියන එකට මෙම සටන ආදර්ශයක් ලබා දෙනවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් අත්‍යාවශ්‍ය සටනක් තිබියෙදීත් දරුවන්ට ඉගැන්වීමේ වගකීම තමන්ට පවරා ගත්තා. 

UN




Source link