January 19, 2022

Ada Rata

All news in one location

ගාන්ධර්ව පීතෘත්වයෙන් වැසී ගිය පුත්‍ර සෞන්දර්ය : ජයන්ත රත්නායක



ජයන්ත රත්නායක රූප කාය මුල් වරට අප ඇස ගැටෙන්නේ පුද්ගලික රූපවාහිණී නාලිකාවක සංගීතමය වැඩ සටහනක් අතරිනි. ඔහු එහි සර පුවරුව වයමින් ගීත ගැයුවේය. කෙසඟ සිරුරකි. සියුමැලි මුහුණකි. වසර ගණනාවකට එපිට ඈත අතීතයකි. “අදත් සංගීතය ජයන්ත රත්නායක” වැනි බසකින් පූරකයා ඔහු හඳුන්වා දුන් වගක් මතකයට එයි. එවක මතකය එපමණයි.

ඔහු වික්ටර් රත්නායක ගේ වැඩිමහල් පුත්‍රයා බව දැනගන්නට ලැබෙන්නේ ඉන් බොහෝ කාලයකට පසුව ය. ඉනිදු සෑහෙන්න කලකට පසු ගිය අවුරුද්දේ අප්‍රේල් මස හය වැනිදා වැඩිමහල් පුත්‍රයා ගැන අවසන් තීරණාත්මක ආරංචිය තටු ලබා පැමිණියේය. ජයන්ත රත්නායක මිය ගියේය; පිළිකාවකිනි. එය අතීත මතක රූප රාමු හදවත තුළ ස්වයං ඡේදනයට ලක් වෙමින් පෙනී නොපෙනී ගිය ආරංචියකි. “අදත් සංගීතය ජයන්ත රත්නායක” කියා දැන් කිසිවෙකුට කියන්නට නොහැකි ය. සර පුවරුව ගොළු ය. ජයන්ත නැත.

එක් අතකින් ජයන්ත සදාතනික පිය – පුතු සිංහබා අරගලයේ නූතන මුහුණුවරකි. තවත් අතකින් ඔහු පියා ගේ විසල් සහ වෙසෙස් ප්‍රතිබිම්බය අභියස චූල වූ  පුත්‍රයෙකි. එමෙන් ම එබැවින් ම බොහෝ දේ හිමි වුණ මිනිසෙකි. ඔහු අන්තිම කාලයේ අපේක්ෂා රෝහලේ වැතිර ඉද්දී පියාගෙන් දූරකතන ඇමතුමක් අපේක්ෂාවෙන් සිටි බව කියැවේ. මේ සංකීර්ණ මිනිස් සබඳතා අප කියවාගත යුත්තේ කොහොමද, මොන පොතෙන්ද?

ජීවිතය පිළිබඳ තවත් එක් අසම්පූර්ණ පාඩමක් අපට වන පොත් කරන්නට තබා ජයන්ත රත්නායක පිටව ගියේය. බොහෝ විට බිඳ දැමුණු බලාපොරොත්තු නිසා පිරුණු ඇසිනි. එබැවින් ජයන්ත ගැන මේ කෙටි සටහන ද අසම්පූර්ණයෙනි. ජීවිතය දෙස පරිපූර්ණව බලන්නට තරම් තවම අප නොපැසුණු බැවිනි.

කසුන් සමරතුංග 




Source link