October 18, 2021

Ada Rata

All news in one location

කෝවිඩ්-19 සහ වැටුප් නොගෙවන සත්කාර කටයුතු



ජාත්‍යන්තර පවුල් දිනය 2021

ඉවුම් පිහුම් කටයුතු, පිරිසිදු කිරීම්, ළමයින්, අසනීප පුද්ගලයන් හා වැඩිහිටියන් රැකබලාගැනීම් ආදී වැටුප් නොගෙවන සත්කාරක කටයුතු  සාර්ථක පවුල්වල, ප්‍රජාවන්ගේ හා ආර්ථිකයන්ගේ ප්‍රාණ නාළියලෙස සැලකිය හැක. මෙම ක්‍රියාකාරකම් අපගේ ශාරීරික හා මානසික යහපැවැත්මට ඉතා වැදගත් වන අතර මෙහි සත්‍යතාව කෙතරම්ද යන්න ශ්‍රී ලංකාවේ හා ලෝකය පුරා දැනට පවතින කෝවිඩ්-19 වසංගත තත්වය තුළ වෙන කවරදාටත් වඩා දක්නට ලැබේ. පවුල් විවිධාකාර වුවද මිනිසුන්ට සත්කාර කරන හා ඔවුන් රැකබලාගන්නා ප්‍රධාන ස්ථානයක් ලෙස එය නම් කල හැක. පසුගිය වසර තුළ, අප බොහෝ දෙනෙකු වැඩි කාලයක් ගතකළේ නිවසේය. දෛනික සත්කාර කටයුතු නිසා අප තිරසරව පැවතුනෙමු. ශක්තිමත් වුණෙමු.. ඒවා අපට උපකාර විය. එසේම, අප හොඳින් හා ආරක්ෂිතව තබාගැනීමට ඉවහල් විය. කෙසේ වෙතත්, එවැනි සත්කාර කටයුතු බොහෝවිට නොසැලකිල්ලට ලක්වේ. අඩු තක්සේරුවට ලක්වේ. එසේම, ‘නියම වැඩ’ ලෙස පිළිගැනීමට ලක්වන්නේ නැත. බොහෝවිට, මෙම වැඩවලින් වැඩි ප්‍රමාණයකට උරදෙන්නට සිදුවන්නේ කාන්තාවන්ටය.

‘වැටුප් නොගෙවන සත්කාර සේවා හෝ ගෙදරදොර වැඩ’ යනු මොනවාද? ඒවා වැදගත් වන්නේ ඇයි?

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පවසන පරිදි, සත්කාර කටයුතු යනු, කවුරුත් ඍජුවම සම්බන්ධ වන, පෞද්ගලික හා බොහෝවිට භාවාත්මක වන සම්බන්ධතාවකි. දරුවකුට කෑම කැවීම, දුබල, මහලු පුද්ගලයකු නෑවීම හෝ පවුල තුළ සම්බන්ධතා පවත්වාගැනීම, දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීම හා ගැටුම් විසඳීම වැනි කටයුතු වෙනුවෙන් යොදනු ලබන මානසික වෙහෙස ඒ සමග සම්බන්ධය. අනෙක් පැත්තෙන්, පිරිසිදු කිරීම, රෙදි සේදීම වැනි ගෙදරදොර වැඩ (ගෘහ කටයුතු) වෙහෙසකරය.   මෙම වැඩ සඳහා විවිධ මට්ටම්වල ශාරීරික හා මානසික ශ්‍රමය අවශ්‍ය වේ. එහෙත්, මේ ආකාරයේ වැඩ වෙනුවෙන් සාමාන්‍යයෙන් වැටුප් ලැබෙන්නේ නැත. ඒ නිසා ඒවා  ‘වැටුප් නොගෙවන සත්කාර සේවා හෝ ගෙදරදොර වැඩ’ ලෙස හැඳින්වේ.

එහි වටිනාකමක් තක්සේරු නොකරන මුත්, මානව සංවර්ධනයේදී හා තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේදී සත්කාර කටයුතුවල ඍජු බලපෑමක් තිබෙන බව හඳුනාගෙන තිබේ. සත්කාර කටයුතු හරහා සපයන චිත්තවේගී සත්කාර හා විවේකය වැනි සේවාවන් පුද්ගලයන්ගේ යහපැවැත්මට දායක වේ. බොහෝවිට වැටුප් නොගෙවන සත්කාර සේවා සහ ගෙදරදොර වැඩ කටයුතුවල යෙදෙන්නේ කාන්තාවන්ය. ඒ පවුලේ ආර්ථිකය නඩත්තු කිරීම හා සමාජයේ ක්‍රියාකාරී සාමජිකයන් වීමට පිරිමින් හට අවශ්‍ය අවස්ථාව සලසා දෙමිනි. එහෙත්, දැන් දැන් පෙරටත් වඩා දකින්නට ලැබෙන අවදානමක් වන්නේ, විවාහය කාන්තාවන්ට වැටුප් ලබන ශ්‍රමිකයන් වීමට තිබෙන අවස්ථාව 26%කින් අවම කිරීමට කාරණා වන බවයි.එයට සාපේක්ෂව විවාහය පිරිමියකුට වැටුප් ලබන ශ්‍රමිකයකු වීමට තිබෙන අවස්ථාව 2.5%කින් වැඩි වීමට හේතු වේ.

 

කෝවිඩ්-19 සහ පවුල් තුළ සත්කාර කටයුතු අසමාන අන්දමින් බෙදීයාම

වසංගතයට පෙර, ශ්‍රී ලංකාවේ කාල භාවිතය පිළිබඳ සමීක්ෂණය (2017) විසින් වාර්තා කරන ලද පරිදි, වයස අවුරුදු 10ට වැඩි ගැහැණු ළමයින්ගෙන් හා කාන්තාවන්ගෙන් 87.3%ක් ගෘහ කටයුතු සහ සත්කාර කටයුතුවලට සහභාගී වූ අතර එම කටයුතුවල යෙදුණේ පිරිමින් හා පිරිමි ළමයින් අතරින් 59.7% ක් පමණය. ගෘහ හා සත්කාර කටයුතුවල කාන්තාවන් යෙදෙන ප්‍රමාණය පිරිමින් යෙදෙන ප්‍රමාණයට වඩා 27.6%කින් වැඩිය. ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ආසාදනවල මෑතදී සිදුවූ වැඩිවීමත් සමගම සිදු වූ පාසල් වසාදැමීම්, රැකියා අහිමි වීම් හා යැපෙන්නන්ගේ ඉහළ ගිය සත්කාර අවශ්‍යතා හේතුවෙන් පවුල තුල සත්කාරක කටයුතු සඳහා වූ අවශ්‍යතා ද පුළුල් වී තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වන නිසා, වැඩිහිටි කාන්තාවන් ඇතුළු කාන්තාවන්ට සත්කාර සම්බන්ධ බරෙන් වැඩි ප්‍රතිශතයක් දරාගන්නට සිදු වී තිබේ.

සත්කාර අවශ්‍යතාවන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ කාන්තාවන්ට ආතතිය, කාංසාව හා විෂාධය වැනි තත්ව ඇති වී තිබේ. කාන්තා ගෘහ මූලිකයන් ගත් විය ඔවුන්ට තුන් ගුණයක් බර දරාගන්නට සිදුවේ. එයට හේතුව,  පවුලේ එකම ආදායම් උපදවන්නාගේ කාර්ය්‍යටඅමතරව ගෙදර වැඩ හා සත්කාර කටයුතු ද කරන්නට සිදුවීම නිසායි.. මීට අමතරව කාන්තාවන් විශාල පිරිසකට රැකියා හැර යෑමත් දක්නට ලැබේ.. රටවල් 55ක සාක්ෂි මගින් පෙනීයන පරිදි, 2020 වසරේ මැද වනවිට, ශ්‍රම බලකායෙන් බැහැරව සිටි කාන්තාවන් ප්‍රමාණය එවැනි පිරිමින් ප්‍රමාණය මෙන් 1.7 ගුණයක් විය.  වසංගතයට පෙර, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 73.7%ක් ‘ආර්ථික වශයෙන් සක්‍රිය නොවන පුද්ගලයන් ලෙස සලකන ලදී.. ගෝලීය වශයෙන් විරැකියා අනුපාතිකය ඉහළ යද්දී, ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රම බලකායේ කාන්තාවන්, තරුණයන් හා ආබාධ සහිත පුද්ගයන් ඇතුළු වැඩියෙන්ම අවදානමට ලක්වන කණ්ඩායම්වලට මෙම තත්වය හමුවේ වැඩිම බලපෑමකට ලක්වන්නට සිදුවන බවය. නව යොවුන් වියේ ගැහැණු ළමයින් ද නිවසේ සත්කාරක කටවුතු වල නිරත වෙමින් කැපීපෙනෙන අන්දමින් සුවිසල් සත්කාර බරක් දරති. මේ හේතුව නිසා ඔවුන් අධ්‍යාපනය අත්හැරදැමීමේ අවදානමක් තිබේ.

සත්කාර කටයුතු සහ පවුල් තුළ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

කෝවිඩ්-19 වසංගතය පැනනැගි අවස්ථාවේ සිට, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය ගෝලීය මට්ටමෙන්ම ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇත. පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන පරිදි වැටුප් නොගෙවන සත්කාර කටයුතුවල බර සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධතාවක් තිබේ. ඉන්දියාවේ 2019 වසරේ නිවාස සමීක්ෂණය අනුව, පවුල වෙනුවෙන් දිය හෝ දර ගෙන ඒමට අසමත් වූ කාන්තාවන්ගෙන් 42.2%ක් පහරකෑමට ලක්වී තිබේ. පවුලේ පිරිමින් වෙනුවෙන් කෑම සූදානම් කිරීමට අසමත් වූ කාන්තාවන්ගෙන් 41.2%ක් පහරකෑමට ලක්වී තිබේ. වසංගතයට පෙර, ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු තම ජීවිත කාලය තුළදී සමීප සහකරු වෙතින් ශාරීරික හා ලිංගික හිංසනයට ලක්වී ඇති බව තක්සේරු කර තිබෙන අතර පිරිමින්ට ‘තම බිරිඳට පහරදීම සඳහා හොඳ හේතුවක්’ තිබිය හැකි බව කාන්තාවන්ගෙන්  35.3% පැවසූහ. කෝවිඩ්-19 වසංගතය පැනනැගුණු අවස්ථාවේ සිට, සමාජීය වාර්තාවලින් පෙන්නුම් කරනු ලබන්නේ, විශේෂයෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තීව්‍ර වී තිබෙන බවය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාව දිගටම පවත්වාගැනීමට හේතු වන පොදු අසත්‍ය මත

අසත්‍ය මත 1: සත්කාර කටයුතුවලට වැඩි කාලයක් ගතවන්නේ නැත. වෙනත් ආකාරයේ වැඩ සමග සන්සන්දනය කළ විට ඒවායේ වටිනාකමක් නැත.  

එහෙත්, යථාර්ථය මෙසේයි: ලොව වටා මිනිසුන් සෑම දිනකම පැය බිලියන 16.4ක් වැටුප් නොගෙවන සත්කාර කටයුතු වෙනුවෙන් වැය කරති. එය බිලියන දෙකක් මිනිසුන් දිනකට පැය අට බැගින් වැටුප් නොමැතිව වැඩකිරීමට  සමාන වේ. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් වාර්තා කරන පරිදි, ගෝලීය මට්ටමෙන්ම සත්කාර කටයුතු සම්බන්ධ බරෙන් වැඩි ප්‍රමාණයකට උරදෙන්නේ කාන්තාවන්ය. එයට හේතුව, ඔවුන් වැටුප් නොගෙවන ගෘහ කටයුතු හා සත්කාර කටයුතු වෙනුවෙන් පිරිමින් මෙන් තුන්ගුණයක් කාලය යෙදවීමය. එයට අමතරව, රටවල් 64කින් ලබාගත් දත්ත අනුව, අවම වැටුපක් අනුව තක්සේරු කළහොත්, සත්කාර කටයුතුවල වටිනාකම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් වේ. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර්වලින් ට්‍රිලියන 11ක් වේ. ශ්‍රී ලංකාව ඇතුළු ලොව සියලු රටවලින් තවත් දත්ත ලබාගතහොත්, මෙය මීට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකිය.  

වැරදි මත අංක 2: සත්කාර කටයුතු යනු කාන්තාවන්ට ‘වඩා හොඳින් කළ හැකි’, ඔවුන් ‘ස්වාභාවිකව හැඩගැසුණු’ හා ‘ඔවුන් විසින්ම කළ යුතු’ කාර්යයකි.

යථාර්ථය මෙසේයි: ‘සත්කාර කටයුතු යනු කාන්තාවන්ගේ වැඩකි’ යනු සමාජය තුළ ඉතා ගැඹුරින් කාවැදී තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සම්මතයකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සම්මතයන් යනු කාන්තාවන් හා පිරිමින් සම්බන්ධයෙන් සමාජයේ පිළිගත් චර්යාවන් තීරණය කරන අප්‍රකාශිත ‘නීති’ ය.සත්කාර කටයුතු බොහෝවිට ‘පරාර්ථකාමීත්වය’ හා ‘ස්වයං කැපකිරීම’ පිළිබඳ අදහස් සමග සම්බන්ධය. එය කාන්තාවන් තම පවුල වෙනුවෙන් කරනු ලබන සේවාවක් හෝ කැපකිරීමක් ලෙස සැලකේ. ප්‍රධාන ධාරාවේ ආර්ථිකයන්හිදී ‘වැඩ’ සංකල්පගත කර තිබෙන්නේ මූල්‍ය ආදායම් උපදවන ක්‍රියාවක් ලෙසය. එවැනි මුදල් ඉපැයිය හැකි වැඩ ‘නියම වැඩ’ හෝ නියම ‘පිරිමින්ගේ වැඩ’ හෝ ලෙස සැලකේ. ගෙදර සත්කාර කටයුතු මගින් ආදායම් ඉපැයිය නොහැකිය. ඒවා සැලකෙන්නේ ‘ගැහැණු වැඩ’ ලෙසය. යථාර්ථයේදී, කාන්තාවන් විසින් සපයනු ලබන වැටුප් නොගෙවන සත්කාර කටයුතු ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයයි. එහෙත්, ඒවා ‘විධිමත් වැඩ’ ලෙස ගණනය වන්නේ නැත.           

  

සත්කාර කටයුතු සෑම කෙනෙකුගේම වගකීම වන්නේ ඇයි?

අපගේ ලෝකය කෝවිඩ්-19 වසංගතයෙහි බලපෑමට දරුණු ලෙස ලක්වී තිබේ. අසනීප, රැකියා අහිමි වීම් හා වෙනත් විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිඵල සෑම තැනකම දැකිය හැකිය. අප සහ අනාගත පරම්පරා සමාජයට හා ආර්ථිකයට දායක වන සක්‍රිය සාමාජිකයන් වීමට ඉගෙන ගත හැකිපදනම වන්නේ නිවෙස් තුළ සත්කාර කටයුතුය.  ඒ අනුව, සත්කාර කටයුතු අපගේ කාලයෙන් ඉතා වැදගත් කොටසක් වන අතරඑය අප සැමගේ වගකීමකි.

අසාධාරණ සත්කාර බරක් කාන්තාවන් මත පටවන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාව හානිකර වන්නේ කාන්තාවන්ට පමණක් නොවේ. එය පිරිමින්ට හා ළමයින්ටත් අහිතකර ලෙස බලපායි. ගෝලීය පර්යේෂණ විසින් පෙන්වාදෙන පරිදි, පියවරුන් සත්කාර කටයුතුවල නියුතු වීම  මගින් වඩා හොඳ ශාරීරික හා මානසික යහපැවැත්මකට දායක විය හැකිය. මව්වරුන්ගේ සෞඛ්‍යයේ හා ශ්‍රම වෙළඳපොළේ වැඩිදියුණුවක් ඇතිකළ හැකිය. දරුවන් තුළ වඩා හොඳ සෞඛ්‍යයක්, බුද්ධි වර්ධනයක් හා අධ්‍යාපන ජයග්‍රහණ ඇතිකළ හැකිය. ගෙදරදොර කටයුතු හා සත්කාර කටයුතු මගින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පමණක් නොව, පිරිමින්ට හා පිරිමි ළමයින්ට ද වැදගත් ජීවන කුසලතා උගන්වනු ලැබේ.  

මිලියන 100ක් ජනතාව 2020 වසර අවසන් වන විට දැඩි දිළිඳුභාවයට පත්වන බව තක්සේරු කර තිබේ. වසංගතයේ ආර්ථික හා සමාජ ප්‍රතිඵලවලින් ගැලවීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය අරගල කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ මිලියනයකට ආසන්න ජනයා වසංගතය හේතුවෙන් අලුතෙන් දුප්පතුන් බවට පත්වන බව තක්සේරු කර තිබේ. සත්කාර කටයුතුවලදී පිරිමින්ගේ සහභාගීත්වය මගින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මත පැටවෙන බර විශාල වශයෙන් අඩු කරනු ලැබේ. එමගින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අධ්‍යාපනය හා ආදායම් ඉපැයීමේ කටයුතුවල යෙදීමට ශක්තිය ලැබේ. එය පවුලේ ආදායම කැපීපෙනෙන අන්දමින් වැඩිකිරීමට දායක වේ. කෝවිඩ්-19 අවසංගත සමයේ හා ඉන්පසු කාලයේදී එය දැවැන්ත සහයෝගයක් වේ. මැකන්සි ගෝලීය ආයතනය (McKinsey Global Institute) විසින් තක්සේරු කරන පරිදි, ඇමෙරිකානුඩොලර් ට්‍රිලියන 12 ක් ගෝලීය වර්ධනයට එකතු කිරීමේ හැකියාව ස්ත්‍රී පුරුෂ සමාජභාවීයසමානාත්මතාව ඉහළ නැංවීමෙන් ලැබේ. එමගින් විශේෂයෙන්ම තම දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් වාර්ෂිකව එකතු කිරීමේ හැකියාව 2025 වන විට ශ්‍රී ලංකාවට ලැබේ. එමගින් වර්තමාන ආර්ථික වර්ධනයේ ගමන් පථය 14%කින් පමණ ඉහළ යනු ඇත. 

වඩා සාධාරණ අනාගතයක් සඳහා – හඳුනාගන්න, අවම කරන්න, නැවත බෙදාහරින්න

කෝවිඩ්-19 වසංගත තත්වය යටතේ හදිසි ප්‍රතිචාරයක් ලෙස සත්කාර කටයුතු හඳුනාගෙන තිබුණද, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාර වාර්තාකරණය විසින් හෙළිදරව් කරන පරිදි, වසංගතයේ හදිසි සත්කාර කටයුතු අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය මට්ටමේ මුලපිරුම් ගෝලීය සමාජ ආරක්ෂණයෙන් හා ශ්‍රම වෙළඳපොළ ප්‍රතිචාරවලින් 8%ක් පමණය. ඒ අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම හා එමගින් ලබාගත හැකි සමාජ ආර්ථික වාසි අත්පත් කරගැනීම වෙනුවෙන් සත්කාර කටයුතු ‘හඳුනාගැනීම, අවම කිරීම හා නැවත බෙදාහැරීම’ වෙනුවෙන් ලෝකයට ශක්තිමත් ප්‍රතිපත්ති හා වැඩසටහන් මගින් පෙළඹවීමක් අවශ්‍යය.

 

 

හඳුනාගන්න

වර්තමානයේදී, සත්කාර කටයුතුවල වටිනාකම හඳුනාගැනීම හා මැනීම සඳහා ජාතික දත්තවල හිඟයක්  පවතී. මෙම දැනුම් පරතරය පියවීම සඳහා ප්‍රමාණවත් පර්යේෂණ හා මහේක්ෂ ආර්ථික විශ්ලේෂණ අවශ්‍යය. ‘සත්කාර කටයුතු’ ගිනුම්ගත වන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. එසේම, ප්‍රතිපත්ති මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. කැමැත්තෙන් භාරනොගන්නා, සමානාත්මතාවාදී නොවන සත්කාර බරක් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට දරන්නට සිදුවී තිබෙන්නේ ඒ හේතුවෙන්ය. කාන්තාවන් හා ගැහැණු ළමයින් මත පැටවෙන අසමාන සත්කාර බර සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති හා වැඩසටහන්වල බලපෑම තක්සේරු කිරීම සඳහා විධිමත් ඇගයීමක් අවශ්‍යය. 

අවම කරන්න

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවාදය සහ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මත පැටවෙන අසාධාරණ සත්කාර කටයුතු බර පහත දැක්වෙන මාර්ගවලින් අවම කළ හැකිය. එනම්, පොදු යටිතලයෙහි කරනු ලබන ආයෝජන සහ පවුල්වලට උපකාර කරන සේවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය හා ඔවුන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කරන පරිදි කාන්තාවන් සවිබලගැන්වීම ප්‍රවර්ධනය කරනු ලබන සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති හා වැඩසටහන්, ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය, රැකියා අවස්ථා සඳහා සමාන ප්‍රවේශය සහ කාන්තාවන් ශ්‍රම බලකාය තුළ රඳවා තබාගැනීම සම්බන්ධ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම වේ. ප්‍රතිපත්ති සහ වැඩසටහන් මගින් අවදානමට පාත්‍ර වූ පවුල්වල විශේෂ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අඩු ආදායම් පවුල්, කාන්තා ගෘහ මූලික පවුල්, ආබාධ සහිත ජනයා සහ දෛනික වැටුප් ලබන කම්කරුවන් එවැනි අවදානමට පාත්‍ර වූ කණ්ඩායම්ය.

නැවත බෙදාහැරීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරිවර්තනීය කම්කරු ප්‍රතිපත්ති හරහා පවුල් හා සමාජයන් අතර සහ පිරිමින් හා කාන්තාවන් අතර සත්කාර කටයුතු නැවත බෙදාහැරීම අවශ්‍යය. බඳවාගැනීම, රඳවාගැනීම, උසස්වීම් ලබාදීම හා සුරක්ෂිත වැඩ පරිසරයන් මෙන්ම පීතෘ නිවාඩු, පිරිමින් හා කාන්තාවන් වෙනුවෙන් නම්‍යශීලී සේවා කාලයන් සහ සුරක්ෂිත පොදු ළමා සුරැකුම් සේවා වැනි මව්පියන් සඳහා වන සේවා එම ප්‍රතිපත්තිවලට අයත් වේ. 

පවුල් තුළ වඩා පුළුල් සමානාත්මතාවක් සහ ගෘහ හා සත්කාර කටයුතු සම්බන්ධයෙන් පිරිමින් හා කාන්තාවන් අතර වගකීම් බෙදාගැනීමක් නොමැතිව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව නිර්මාණය කළ නොහැකිය. මැයි 15 ජාත්‍යන්තර පවුල් දිනයය. එම දිනයේත්, සෑම දිනකමත්, අපි සත්කාර කටයුතු කාන්තාවන්ගේ වැඩක් නොව පවුලේ වැඩක් ලෙස හඳුනාගැනීමට කටයුතු කරමු.  

**සමාප්තයි**

 

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය (UN Women): එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් කැපවී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එය කාන්තාවන් හා ගැහැණු ළමයින් සඳහා සේවයේ නියුතු ගෝලීය ප්‍රමුඛයෙක්. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පිහිටුවනු ලැබුවේ ලොව පුරා කාන්තාවන්ගේ අවශ්‍යතා සපිරීමේ ප්‍රගතිය වේගවත් කිරීමෙ සඳහායි. වැඩිදුර විස්තර මෙතැනින්: asiapacific.unwomen.org

 

මාධ්‍ය විමසීම්: communications.lk@unwomen.org | UN Women on Twitter

 






Source link