October 19, 2021

Ada Rata

All news in one location

කොරෝනා හැදුණු බිරිය සුව වී ගෙදරත් ඇවිත් – සැමියාගේ පී.සී.ආර්. වාර්තාව තවමත් නෑ


දෙතුන් සතියකට ඉහතදී ගම්පහ පැත්තේ නිවසක බිරියකට කොරෝනා වැලඳුණේය. ප්‍රතිකාර සඳහා ඇය රෝහලට රැගෙන ගියාය. දෙතුන් දවසකට පසු සැමියාගේද පී.සී.ආර්. කෙරුණේය. එහි වාර්තාව එනතුරු දෙතුන් දවසක් බලා සිටියත් වැඩක් නොවුණි. අන්තිමේදී ඔහු තමන් දන්නා දෙතුන් දෙනකුට කතා කළත් වාර්තාව ගැන ආරංචියක් නැත. ඒ අතරේ රෝහල්ගතව සිටි බිරිය සුවය ලබා දින දහයකට පසු ගෙදර ආවේය. එහෙත් සැමියාගේ පී.සී.ආර්. වාර්තාව ලැබුණේ නැත. ඔහු පමණක් නොව පී.සී.ආර්. කළ හැමදෙනාටම මේ දවස්වල කියන්නේ කොරෝනා හැදිලා සුව වූ පසුවත් පී.සී.ආර්. වාර්තාව ආගිය අතක් නැති බවය.

‘‘දැන් දැන් නිකුත් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා දින ගණනක් පැරැණියි. මෙම පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වුවහොත් කොවිඩ් වසංගතය තවත් උත්සන්න විය හැකියි.’’

එසේ අනතුරු හඟවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයය.

මැයි මස 4 වනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබී ඇත්තේ අට වැනිදාය. පී.සී.ආර්. සාම්පල 20,000 ක් පමණ සිරවී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය කියන්නේය.

මෙය රසායනාගාර ප්‍රශ්නයක් නොවෙයි. සෞඛ්‍ය සේවාවේ කළමනාකරණ ප්‍රශ්නයක්. දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ කරන රසායනාගාර 20 ක් තිබේ. පළමු රැල්ල ආරම්භ වනවිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාර තුනේ පමණක් පරීක්ෂණ කරන ලදී. දෙවැන රැල්ල වන විට පී.සී.ආර්. පරීක්ෂණ කළ හැකි රසායනාගාර හයක් සෞඛ්‍ය සේවාව සතු විය. තුන්වන රැල්ල ආරම්භ වනවිට රසායනාගාර 20 ක් දක්වා වර්ධනය විය. මෙම රසායනාගාරවලින් දෛනිකව පරීක්ෂණ 40,000 ක් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතයයි. නමුත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ වර්තමානයේ තිබෙන තත්ත්වය නිවැරදිව පාලනය කිරීමට දෛනිකව පරීක්ෂණ 75,000 ක් කළ යුතු බවයි. එම පරීක්ෂණ පී.සී.ආර්. මෙන්ම විවිධ රසායනාගාර පරීක්ෂණ විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය නිදර්ශක ගන්නේ දහවල් කාලයේය. ඉන්පසු නිදර්ශක පස්වරුවේ රසායනාගාරයට එන විට ඇතැම් රසායනාගාර වසා දමා තිබේ. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පස්වරු හයට වසා දමා නිලධාරීන් ගෙදර යති. ‘‘රසායනාගාරයේ ඉන්න අයිතිකාරයෝ විදිහට සිටින සමහර විශේෂඥ වෛද්‍යවරුන් අධ්‍යක්ෂවරුන්ට බලපෑම් කරලා පරීක්ෂණ රාත්‍රියේ කරන්න දෙන්නේ නැහැ’’ රවි කුමුදේශ් චෝදනා කළේය. එවිට පරීක්ෂණ කිරීම දිනකින් ප්‍රමාද වෙයි.

වෛද්‍ය ආඥා පනතට අනුව රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැක්කේ වයිරසවේදී වෛද්‍යවරයකුගේ අත්සනින් නොව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකුගේ අත්සනිනි. එහෙත් වෛද්‍ය පරිපාලකයන් සකස් කර ඇති චක්‍රලේඛවලට අනුව වාර්තාව නිකුත් කළ යුත්තේ වයිරසවේදියෙක් පමණයි. ඇතැම් වයිරසවේදීන් පරීක්ෂණ වාර්තාවට දින දෙක තුනක් ප්‍රමාද වී අත්සන් කරන අවස්ථා නැතිවාද නොවෙයි. ඉන්පසු ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයකුට, ඉන්පසු ප්‍රාදේශීය වසංගතවේදීන්ට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලැබීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකට වාර්තාව ලැබෙයි. සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිත කිරීම නිසා වාර්තා ලැබීමේ ප්‍රමාදයක් ඇති අතර එය රසායනාගාරයට පාලනය කිරීමට හැකියාවක් නොමැත.

මෙම සාම්ප්‍රදායික ක්‍රමවේදය නතර කිරීම සඳහා රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කරන ලෙසට කළ ඉල්ලීම් ඵලරහිත වී තිබේ. එවිට රසායනාගාරයෙන් මුදාහැරෙන වාර්තාවක් ඕනෑම නිලධාරියකුට අධ්‍යයනය කළ හැකිය. රසායනාගාරයකින් වාර්තාවක් නිකුත් කළ පසු එය වෙනස් කිරීමට නොහැක. කොවිඩ් ‘පොසිටිව්’ කියා නිර්දේශ කළ වාර්තාවක් නෙගෙටිව් කළ නොහැක. එලෙස කිරීම බරපතළ වැරැද්දකි. තොරතුරු කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සරල දෙයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික වැය ශීර්ෂය වන රුපියල් බිලියන 250 කින් මේ සඳහා වැය කිරීමට ඇත්තේ සුළු මුදලකි. තොරතුරු කළමනාකරණය සඳහාම වෙන්වූ වෛද්‍ය නිලධාරීන් 50 දෙනකු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැටුප් ගනිති.

තොරතුරු කළමනාකරණ පද්ධතියත් සකස් කිරීම කොවිඩ් පාලනයට පමණක් නොව වසංගත කළමනාකරණයට ඉතා වැදගත් වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තවමත් ගල් යුගයේ වැඩ කරති. රසායනාගාරයකට දැරිය හැකි ධාරිතාවක් ඇත. මෙම ධාරිතාව වැඩි කළ හැකි ක්‍රම කිහිපයකි. මෙහි සරලම ක්‍රමය නම් පැය 24 පුරාම රසායනාගාර ක්‍රියාත්මක කිරීමයි.

‘‘රසායනාගාරවල වැඩ කරන වෘත්තිකයන් කැමති වුණාට රසායනාගාරවල අයිතිකාරයෝ විදිහට අමාත්‍යාංශය ඇතුළත පෙනී සිටින උදවිය ඒකට කැමැති නැහැ. මොකද ඒගොල්ලන්ට සවස් වරුවේ වෙනත් වැඩ තියෙනවා. පෞද්ගලික රසායනාගාරවලත් වැඩ තියෙනවා. එම රසායනාගාරවල වාර්තාවන්හි අත්සන් තියෙන්නේ පරිගණක ගත අත්සනක්.’’ රවි කුමුදේශ් කියා සිටියේ තවත් චෝදනාවක්ද ඉදිරිපත් කරමිනි.

පී.සී.ආර්. පරීක්ෂණවලින් සොයා ගන්නා රෝගීන් මෙන් තුන් ගුණයක් දිනකට සමාජය තුළ සිටිය හැකිය. කොවිඩ් රෝගියකුගේ මූලික රෝග ලක්ෂණ වන උණ, කැස්ස, ඇහේ අමාරුව වැනි ලක්ෂණ ඇති රෝගීන් 50,000 ක් පමණ දෛනිකව රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙති. වසංගතය පාලනය කිරීමේදී එය පුරෝකථනය කළ යුතුයි. ඒ සඳහා අහඹු, සක්‍රිය හා අක්‍රිය පරීක්ෂණ සිදුකිරීම ඉතාම වැදගත් වෙයි. එම නිසා රෝගය නිවැරැදිව පාලනය කිරීමට දෛනිකව පරීක්ෂණ 75,000 ක් පමණ කිරීම ඉතාම වැදගත් වෙයි. නමුත් පරීක්ෂණ 25,000 ක්වත් නිවැරැදිව කළ නොහැකි සෞඛ්‍ය පද්ධතියකට පරීක්ෂණ 75,000 ක් කළ හැකිද? එය ඉලක්කයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති තීරණය කරන සාම්ප්‍රදායික කළමනාකරණ ක්‍රමවේදයට හෝ අධිකාරිවාදී විශේෂඥ උපදෙස්වලින් මෙය කළ නොහැක. රෝගය පුරෝකථනය කළ හැකි සියලු පරීක්ෂණ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් සිදුකළ හැකිය.

‘‘අපිට ජංගම රසායනාගාර හෝ තාවකාලික රසායනාගාර ඇටවුම් ලබාදෙනවා නම් ක්ෂේත්‍රගතව සතියක් ඇතුළත කරන්න පුළුවන්. බාහිර රෝගී අංශවල ස්ථානීය කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ රසායනාගාර පවත්වා ගෙන යාමද අනවශ්‍යයි. ස්ථානීය පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කරන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යගත රසායනාගාරවල පී.සී.ආර්. මාෆියාවට ඉඩ හැරලා සිටීම වැදගත් නැහැ. නව තාක්ෂණය සමග ගමන් කළ යුතුයි’’ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් පැවැසුවේය.

වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මේ වන විට රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම්වරයෙකි. ඔහු නියෝජ‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන කාලයේ රසායනාගාර අධ්‍යක්ෂවරයා සමග එකතුව තුන්වන රැල්ලක් ඇති වුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් සකස් කළේය. එහිදී යෝජනා වූයේ රසායනාගාරවල ධාරිතාව වැඩි කිරීමටය. ලෝක බැංකුව සමග සාකච්ඡා කර රසායනාගාරවල ධාරිතාව වැඩි කිරීමට අමතරව හම්බන්තොට, පොළොන්නරුව මහ රෝහල්වලට නවීන උපකරණ වලින් යුත් රසායනාගාර දෙකක් ඉදි කිරීමටද යෝජනා කෙරුණි.

නමුත් මෙම සියලු යෝජනා මේ වනවිට හමස් පෙට්ටියේය. රුපියල් මිලියන 350 ක ලෝක බැංකු ආධාර මත සිදු කිරීමට යෝජනා කළ මෙම ව්‍යාපෘතිය අතරමග නතර වී ඇත්තේද විෂය භාර උසස් නිලධාරීන්ගේ නොසැලකිල්ල මතය. නමුත් පෞද්ගලික අංශය සිය පී.සී.ආර්. ධාරිතාව දෙගුණ තෙගුණ කරගත්හ. වසංගතය ආරම්භ වූ පසු පී.සී.ආර්. කිරීමට පෞද්ගලික රෝහල් හතරකට අවස්ථාව උදාවිය. ඔවුන් මේ වනවිට දෛනික ධාරිතාව 10,000 සීමාවට ළඟා වී ඇත. නමුත් රසායනාගාර තුනක් සහ රසායනාගාර විද්‍යාඥයන් 100 ක්, විශේෂඥ වෛද්‍යවරුන්ද සිටින බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දෛනිකව සිදු කරන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 1500 ක් පමණි. පවතින ගැටලු, පරිපාලන දුර්වලතා මගහරවා ගැනීමෙන් පරීක්ෂණ 5,000 ක් පමණ දෛනිකව කළ හැකිය.

කොවිඩ් වසංගතයට රසායනාගාර සේවාව භාවිත කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් සංගමය යෝජනා වාර්තා සකස් කරන්නේ 2020 අප්‍රේල් පස්වැනිදාය. ඒ කොවිඩ් පළමු රැල්ලේදීය. එම සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරන්නේ තවත් තාක්ෂණික වාර්තා හතරක් අමාත්‍යාංශයට ලබාදී ඇති බවයි.

‘‘මෙම වාර්තා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ. සමහර විට බලපෑම් තියෙන්න පුළුවන්. හැබැයි අපි දන්නා තරමට රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේවත් කොවිඩ් පාලනය වන රසායනාගාර සැලසුම් මේ වනතුරු ඉදිරිපත් කර නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස ක්‍රියාත්මක වෙද්දී ඊට අදාළ යෝජනා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ ඉහළ බලධාරීන් දක්වා යන්නේ නැහැ’’ ඔහු පැවැසීය. ඉදිරි සතිවලදී වසංගතය තවත් වර්ධනය වීමක් හෝ අඩුවීමක් සිදුවිය හැකිය. ඇතැම් විට රෝගීන් තුන් ගුණයකින් පමණ වැඩිවීමේ අවදානමක්ද පවතියි. දිනකදී සොයාගන්නා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000 ක් වුවත් ආශ්‍රිතයන් හා සමාජයේ සිටින ආසාදිතයන්ගේ සංඛාව 20,000 ක් පමණ විය හැකිය. එම නිසා පී.සී.ආර්. ධාරිතාව වර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාට සෞඛ්‍ය වෘත්තීය සංගම් යෝජනා මාලාවක් ලබාදී තිබේ. සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් රසායනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන විශ්ලේෂණ යන්ත්‍ර අලුතෙන් ලබාගත යුතුය. ලබාගන්නා පරීක්ෂණ වාර්තා ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම කාලෝචිත පියවරකි. පරීක්ෂණ සිදුකර අවසන් වූ වහාම වාර්තාව නිකුත් කිරීම වෛද්‍ය රසායනාගාර විශේෂඥ නිලධාරියාට බලය ලබාදීමද තවත් යෝජනාවකි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නොමැති නම් වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය හදාරා පත්විම් නොලැබ උපාධිධාරීන් 300 ක් පමණ නිවෙස්වල සිටිති. ඔවුන් ද දායක කරගත හැකිය.

( උදයජිව ඒකනායක – – අරුණ පුවත්පත)



Source link