October 17, 2021

Ada Rata

All news in one location

කොරෝනා මාරයා උදුරා ගත් ඇගේ ජීවිතය


මෙරට කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් ඇත්තේ හද සසල කරන සිදුවීම් ගොන්නක පෙරනිමිති පෙන්වමිනි. සියලු අංශ උඩු යටිකරු කරමින් දින සති ගෙවී යන්නේ හෙට දවසේ කුමක් වේදෝයි ජනතාව තුළ කුකුසක්ද ඇති කරමිනි.

එහෙත් පවතින මෙම අති අවදානම් සහගත හා අවිනිශ්චිත වාතාවරණය යටතේ සාද පැවැත්වීම, විනෝද සවාරියාම වැනි දෑ සිදුවන්නේ නම් එවන් දේ සිදුකරන අය කුමන මානසික මට්ටමක සිටින්නෝද යන්න පහන් සිතින් යුතුව සිතා බැලිය යුත්තකි.

මේ එවන් අදූරදර්ශී තීරණයක් මත සිදුකළාවූ සාදයක් තුළින් සතුටු කඳුළු දුක් කඳුලකින් කෙළවරවූ අනුවේදනීය කතාවකි. මෙලෙස මෙය සටහන් කරනු ලබන්නේ හෙට දවසේ මෙවන් අවසනාවන්ත සිදුවීමක් නොවන්නට නෙත් සිත් විවරකර තැබීමේ අරමුණෙනි.

අපි ඔවුන් කුරුලු හා කැකුළි ලෙස හඳුන්වමු. කුරුලු හා කැකුළි ජීවත් වන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය වෙළෙඳ නගරයකට ආසන්න සුන්දර ගම්මානයකය. ඔවුන් ආදරයෙන් වෙළෙන්නේ පාසල් සමයේ සිටය. දෙමාපිය විරෝධය මැද ඇදී යන පාසල් ප්‍රේමය පාසල් කාලය හමාර වූවායින් පසු තව තවත් මෝරන්නේ දෙදෙනාටම රජයේ රැකියා ලැබීමත් සමගය. ඉහළ වැටුල් සහිත රැකියාවන් දෙදෙනාටම ලැබෙද්දී තම ආදරයට පාසල් සමයේදී දෙමාපියන්ගෙන් ලද විරෝධය වෙනුවට ආශිර්වාදය ලැබෙ-න්නේ පාසල් ප්‍රේමය සුමදුර ප්‍රේමයක් බවට පත්කරමිනි.

සුන්දර අනාගත බලාපො-රොත්තු සහිතව දෙමාපිය ආශිර්වාද-යෙන් විවාහ දිවියට පත්වන කුරුලු හා කැකුළි ඊළඟට සිහින මවන්නේ තම කැදැල්ලට දරුවකු එක්කර ගන්නටය. ඔවුන් ඒ සඳහා සැලසුම් සකස් කළ ද පාසල් ප්‍රේමය ජයගත්තා සේ පහසුවෙන් එම හීනයට ළඟාවන්නට ඔවුනට අවස්ථාව හිමි නොවන්නේය. එය කුරුලු හා කැකුළිගේ සිත් ශෝකයෙන් පුරවන්නක් විය.

විවාහයෙන් පසු දින, සති, මාස, අවුරුදු ගතවෙමින් යද්දී දෙපාර්ශ්වයේම මව්පියන් සේම ඥාති වර්ගයාගේද අවධානය මේ කෙරෙහි යොමුවන්නේ අනාගත මතගැටුම් රැසකට මාර්ගයද විවෘත කරමිනි. මේ නිසාම දෙදෙනාම එක්ව වැඩිහිටි ආශිර්වාදය සහිතව බොහෝ යාග හෝම, ශාන්තිකර්ම සිදුකරන්නේ දරුවකු ලබාගැනීමේ අරමුණෙනි.

ඒ සියල්ල අතරේ හොඳයි, හොඳයි කියනා වෛද්‍යවරුන් හමුවෙමින් අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරද ලබාගන්නා කුරුලු හා කැකුළි ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල්ද වියදම් කරන්නේය.

මෙලෙස කල්ගෙවමින් සිටින අතර අගනුවර විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත වෛද්‍ය තාක්ෂණය මත අන්තර්ජාල තැන්පත් කිරීමක් මගින් දරුවකු හදාගන්නට ඔවුන් උත්සාහ කරන අතර එය සාර්ථකත්වයක් ලබන්නේ දෙදෙනා තුළම එතෙක් නොවිඳි සතුටක් සිත් තුළ ඇති කරමිනි.

අන්තර් දරාල තැන්පත් කිරීමේ සාර්ථකත්වය සතියෙන් සතිය පරීක්ෂා කරමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබමින් කැකුළි සතුටින් දවස ගෙවද්දී දරු ගැබට මාස පහක් සම්පූර්ණ වන්නේය. ඒ අතර රටපුරා කොරෝනා ව්‍යාප්තියද ඇතිවෙමින් තිබුණද තම දරු ගැබ පිළිබඳ කැකුළි සතුටින් සිටියාය. කුරුලු තුළද තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි සතුටකි.

මේ සතුට සමරන්නට දෙදෙනාටම අදහසක් ඇතිවන්නේ ඒ අතරය. ඒ පිළිබඳ හොඳින් සාකච්ඡා කරන කුරුලු හා කැකුළි දිනයක් හා වෙලාවක්ද වෙන්කර තම ඥාති හිතවතුන්ට ආරාධනාවක්ද යවන්නේ තම දරුවා කැදැල්ලට එක්වන්නට නියමිත සතුට සමරන්නටය. ඒහෙත් සෞඛ්‍ය අංශ මේ කාලයේ සාද පැවැත්වීම නුසුදුසු බවට නොනවත්වාම නියෝග පනවද්දී ඒ ගැන මේ දෙදෙනාට ගණනක් නොවූයේ එතෙක් දරුවෙකු නැතිව විඳි වේදනාව තුරන්වීමේ සතුට ඊට වඩා ඉහළින් තිබූ නිසාය.

සැලසුම අනුව දරුවා කුසට එක්වීමේ සතුට පසුගිය දිනක සිය ඥාති හිතවතුන් සමග සමරන කුරුලු හා කැකුළි එය නිමවීමෙන් පසු මහා ගිනි ජාලාවකට ඇද දැමුවාක් මෙන් වන්නේ තම මෑණියන් කොරෝනා ආසාදිතවීමත් සමගය. එතැන් සිට පවුලේ කීපදෙනෙකුද සාදයට පැමිණි කීපදෙනෙකුද ආසාදිතයන් වත්දී කැකුළිගේ සිත තව තවත් දුක්ගින්නේ දැවෙමින් තිබුණාය.

කැකුළිද ඒ අතර අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන අතර ඇයට ද කොවිඩ් 19 ආසාදිත බව එහිදී තහවුරු වන්නේ හද කම්පා කරවමිනි. වහා කොළඹ රෝහලකට මාරුකර හරින කැකුළි එහිදී අසාධ්‍ය තත්ත්වයට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්නේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. වාසනාව පෙනි පෙනී සිටි කැකුළි එහිදී මෙලොව හැරයන්නේ නූපන් බිළින්දාද සමගිනි.

කොවිඩ් මාරයා රටපුරා සැරිසරමින් මිනිස් ජීවිත බිලිගන්න කැසකවද්දී කැකුළි එලෙස කොරෝනා මාරයාට බිලිවන්නේ මෙරට පමණක් නොව මුළු ලෝකවාසීන්ටද කදිම පණිවුඩයක් ලබාදෙමිනි. ඒ පවතින අති බිහිසුණු තත්ත්වය ගණන් නොගෙන, සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර සරල වින්දනයක් සතුටක් වෙනුවෙන් කරන කැපකිරීමක් මහා ඛේදවාචකයක් බවට පත්විය හැකි බව මනා සේ පෙන්වා දීමයි.



Source link