October 20, 2021

Ada Rata

All news in one location

කාබනික පොහොරවලින් අස්වැන්න අඩු උනොත් සහතික මිල ඉක්මවා අපි අස්වැන්න මිලදී ගන්නවා



කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක්‍රියාවකි; අපහසුය, එනමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ඔහු විසින් මේ බව සඳහන් කෙරිණ.

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේදී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

UN




Source link