November 29, 2021

Ada Rata

All news in one location

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල ගැන විපක්ෂ නායකතුමාට අමතක වූ ප්‍රශ්නය



අද (20) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුල සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රශ්න පත්‍රයක් ආණ්ඩුව හමුවේ තැබීය. මෙය ප්‍රශංසනීය ක්‍රියාවක් වන්නේ මේ තාක් කාලයකට විවිධ ක්‍රියාකාරීන් සහ සංවිධාන විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් පිළිතුරු දීම මග හැරි ප්‍රශ්න ගණනාවක් ඒ තුළ අන්තර්ගත වන නිසා ය. උදාහරණයක් වශයෙන්, දැන් වසර කිහිපයක පටන් ශ්‍රී ලංකා මහබැංකුව, රටේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට තමන්ට බලතල නැති බව කියමින් නියාමන වගකීම මහ හරිමින් සිටියි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ බලතල සාදාගත්තේ ද නැත. කෙසේ වෙතත්, ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට සහ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැන් එම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු සැපයීමට හෝ ආණ්ඩුවේ නොහැකියාව පිළිගැනීමට සිදුවනු ඇත. 

විපක්ෂනායකවරයා විසින් ප්‍රධාන ප්‍රශ්න 6 ක් තුළ නැගූ අනු ප්‍රශ්න ද එකතු කළ විට ප්‍රශ්න 24 කින් පමණ සමන්විත වන මෙම ප්‍රශ්නාවලිය, කෙටියෙන් පහත දැක්වේ. 

  1. රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැලසීම ආයතන කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද?
  2. ඒ අතරින් කොපමණ සංඛ්‍යාවක් මහබැංකුව යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලෙස ලියාපදිංචි වී ඇත්ද?
  3. ලියාපදිංචි නොවූ ආයතන ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීමේ නෛතික තත්වය කුමක්ද?
  4. එම සියලු ආයතන පිළිබඳ අධීක්ෂණයක් මහබැංකුව මගින් සිදුකරන්නේද?
  5. එම ආයතන පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද?
  6. ලියාපදිංචි නොවූ, මූල්‍ය කටයුතු සිදුකරන ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සලසන ආයතන විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා මහබැංකුව විසින් ගෙන ඇති පියවර කවරේද?
  7. මේ වන විට ශ්‍රී ලංකා මහබැංකුව වෙත වාර්තා වී ඇති අඩු ආදායම්ලාභීන්ට ලබාදී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය කොපමණද?
  8. ඒ පිරිස කොපමණද?
  9. ඒ අතරින් කොපමණ ණය ප්‍රමාණයක් ආපසු අය කර ගැනීමට හැකියාව ලැබී තිබේද?
  10. තවත් කොපමණ ණය ප්‍රමාණයක් අය කර ගැනීමට නොහැකි වී තිබේද?
  11. ඒ සඳහා බලපා ඇති හේතු කවරේද?
  12. අඩු ආදායම්ලාභීන් වෙත ක්ෂුදූ මූල්‍ය ණය ලබාදීමේදී මූල්‍ය ආයතන විසින් සලකා බැලිය යුතු නිර්ණායක කවරේද?
  13. මෙම ණය සඳහා රජය විසින් නියම කර ඇති උපරිම පොලී අනුපාතික කවරේද?
  14. එම අනුපාතිකයකට වඩා සමාගම් විසින් පොලී අය කරන බව රජය නොදන්නේද?
  15. එම උපරිම පොලී අනුපාතිකය ඉක්මවා පොලී මුදල් අය කර ගනු ලබන ආයතන සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?
  16. ණය ප්‍රවර්ධනය ලෙස ග්‍රාමීය හා නාගරිකව ගෙයින් ගෙට ගොස් ලබාදෙන ණය වැඩි වැඩියෙන් (multiple borrowing වැළැක්වීමටත්, එසේ සිදුකරන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය කටයුතු කර තිබේද? නොඑසේ නම් ඒ මන්ද?
  17. මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය කටයුතු සඳහා අය කරනු ලබන ඉතා ඉහළ උපරිම පොලී අනුපාතිකයන් වෙනුවට සහනදායී පොලී අනුපාතික ලබාදීමට රජය මැදිහත් වී කටයුතු කරන්නේද? 
  18. නැතහොත් රජයට මේ සඳහා විකල්ප වැඩ පිළිවෙළක් තිබේද?
  19. සියදිවි නසාගැනීම් ද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ දැනට ඇති ප්‍රධානතම සමාජ ආර්ථික ගැටළුවක් ලෙස විශේෂඥයන් හඳුනාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස රජය මේ වන විට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද? 
  20. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන මේ වන විට ණය උගුලේ පැටලී සිටින අඩු ආදායම් ලාභීන් සඳාහා රට පුරාම සහන සැලසීමට රජය යම් වැඩපිළිවෙළක් සකස් කර ඇත්ද? 
  21. එසේනම් එම සහනය කුමක්ද? 
  22. ක්ෂුද්‍රමූල්‍ය ණය සැපයීම මගින් පමණක් අඩු ආදායම්ලාභීන්ගේජීවන තත්වය නගා සිටුවීම ඒ තරම් සාර්ථක වැඩපිළිවෙළක් නොවන බව නිරීක්ෂණය වී ඇති නිසා, ඒ වෙනුවට වෙනත් සුදුසු ක්‍රමයක් සැකසීමට රජය ක්‍රියාකරන්නේද? 
  23. නොඑසේ නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම තුළින් සමස්තයක් ලෙස අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමක් හෝ  ආර්ථිකයට දායකත්වයක් සිදුව ඇති බවට තක්සේරුවක් කර තිබේද?
  24. එසේ නම් එය කොපමණද?

කෙසේ නමුත් මෙම දීර්ඝ සහ අත්‍යාවශ්‍ය ප්‍රශ්නාවලිය තුළ විපක්ෂනායකවරයාට අමතකව ගිය වැදගත් ප්‍රශ්න 2 ක් ද  ඇති බව අපේ හැඟීමයි. 

ඒ, රටපුරා දිසා අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු කන්දරාව පිළිබඳ ප්‍රශ්නය සහ ලීසිං මාෆියාවට නොදෙවෙනි මාෆියාවක් ගෙන යමින් විවිධ බලහත්කාරකම්, තර්ජන, බැණ වැදීම්, ලිංගික අල්ලස් සහ සිය දිවි නසාගන්නා ආකාරයේ මානසික පීඩනයක් එල්ල කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගෙන යන හිංසන ආමන්ත්‍රණය කිරීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබේද යන ප්‍රශ්නයයි. 

මේ වන විට දින හතළිස් ගණනක් සපුරා ඇති ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් හිඟුරක්ගොඩ ගෙන යන සත්‍යග්‍රහය තුළ එම වින්දිතයන් විසින් ඉල්ලීම් 5 ක් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් අතරද නඩු දැමීම නතරකිරීම පිළිබඳ ඉල්ලීමක් ඇත. සැබවින්ම මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය වශයෙන් නොව, මුදල් පොලියට දී, මුදල් ආපසු අය කර ගැනීමේ නඩු වශයෙන් නඩු ලක්ෂ ගණනක් ලංකාවේ දිසා අධිකරණවල විභාග වේ. ආපසු අය කරගැනීම් සඳහා වින්දිතයන් බය ගන්වන තර්ජනාත්මක ක්‍රමවේදයක් වශයෙන් ද සමහර සමාගම් විසින් දිගට හරහට නඩු දැමීම දැකගත හැකිය. 

අවම වශයෙන් මෙම ණය අර්බුදය පිළිබඳ පූර්ණ විගණනයක් සිදුකරනතුරු මෙම සිවිල් නඩු කටයුතු සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ අමාත්‍යාංශයට ද ඉතා වැදගත් සමාජ වගකීමක් පැවරී ඇති බව නිසැක ය. 

– AJ




Source link