November 30, 2021

Ada Rata

All news in one location

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු වින්දිතයින් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ හඬ නඟයි



රට තුළ ප්‍රදේශ ගණනාවක අඩු ආදායම්ලාභී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට ඇද හෙළා ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය. 

“ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපයාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් ඉතිරිකිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය ලෙස දිළින්දන්හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින් නිර්වචනය කර තිබෙනවා. නිසි නියාමනයකින් සිදුකරන ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් මගින් අඩු අදායම් ලාභීන්ගේ ආදායම් ඉපයීමේ අවස්ථාවන් ප්‍රසාරණය කර ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම ලොව සමහර රටවල සාර්ථක වී තිබුණද මෙරට ක්ෂුද්‍ර මූල්‍ය, අඩු ආදායම්ලාභීන්ට ණය උගුලක් බවට පත්වී තිබෙනවා. 

මේ වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදෙන ආයතන විශාල ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙන බව වාර්තා වී ඇති අතර එම සියලු ආයතන නිසි පරිදි නියාමනයක් සිදුනොවන නිසා ආයතන හිමියන් විසින් ඔවුනොවුන්ගේ අභිමතය පරිදි ක්‍රියාකරන බව එම ණය ලබාගත් බොහෝ පිරිස් විසින් චෝදනා කරනවා. රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 35%ක උපරිම පොළී අනුපාතිකයක් නියම කර ඇතත් ඇතැම් ණය හිමියන් විසින් සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොළී අයකිරීම සිදුකරනවා. මේ වනවිට ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල බොහෝ පිරිසක් මෙලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය නැවත ගෙවීමට නොහැකිවීම තුළින් දැඩි අපහසුතාවන්ට පත්වී සිටිනවා. එමෙන්ම බොහෝ පිරිස් සියදිවි හානිකර ගැනීම සඳහා ද පෙළඹී තිබෙනවා. 

අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ ප්‍රධාන අරමුණ වන නමුදු ණය ලබාගත් බොහෝ පිරිස් සිය ජීවන මට්ටම ඉහළ නංවාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම පසෙකලා සිය එදිනෙදා අවශ්යතා සපුරාගැනීම සඳහා එම ණය මුදල් භාවිතා කරනු ලබනවා. මේකට ප්‍රධානතම හේතුව මේ රටේ අද දවසේ ජනතාවට ජීවත්වීමේ හැකියාව නැහැ, ආයෝජනය හෝ ස්වයං රැකියා වෙනුවට පරිභෝජනයට තමන් සතු සීමිත මුදල් කැප කරනවා. එම නිසා බොහෝ පිරිසකගේ ණයබර තවදුරටත් වැඩිවීම සිදුවන අතර ඔවුන් විශාල ණය උගුලක පැටළෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස් අතරින් වැඩිම පිරිසක් කාන්තාවන් වන අතර ණය ආපසු ගෙවීමට නොහැකි වන අවස්ථාවල ඔවුන් විවිධ හිංසාවන්ට ලක්වීමේ අවදානමක් ද මතුව තිබෙනවා. 

2016 වර්ෂයේදී මේ සඳහා යම් පිළියමක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය පනතක් හඳුන්වා දුන් අතර එම පනත මගින් මූලික වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම සහ අවශ්‍ය ප්‍රමිතීන් පිහිටුවීම සිදුකරනු ලබනවා. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම සදහා මෙම පනත  හඳුන්වාදුන් නමුත් මේ දක්වා ලියාපදිංචි වී ඇති ආයතන සංඛ්‍යාව ඉතා අතළොස්සක් පමණක් බව දැනගන්නට තිබෙනවා. තවද මෙම පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස් සඳහා කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන බව ඔවුන්ගේ අදහස වෙනවා. මෙය ජාතික වැදගත්කමකින් යුත් ගැටළුවක් ලෙස සලකා පහත සදහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු රජයෙන් බලාපොරොත්තු වෙනවා. 

01. රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සපයන ආයතන කොපමණ පවතින්නේද ? ඒ අතරින් කොපමණ සංඛ්‍යාවක් මහබැංකුව යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සදහා ලියාපදිංචි වී ඇත්ද ? ලියාපදිංචි වී නොමැති ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයීමේ නෛතික තත්වය කුමක්ද ? එම සියලු ආයතන පිළිබඳ අධීක්ෂණයක් මහබැංකුව මගින් සිදුකරන්නේද ? එම ආයතන පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද ? ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා මහබැංකුව විසින් ගෙන ඇති පියවර කවරේද ? 

02. මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවට වාර්තා වී ඇති අඩු ආදායම්ලාභීන්ට ලබාදී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය කොපමණද ? එම ණය ලබාගෙන ඇති පිරිස කොපමණද ? ඒ අතරින් කොපමණ ණය ප්‍රමාණයක් ආපසු අයකරගෙන ඇත්ද ? තවත් කොපමණ ණය ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකි වී තිබේද ? ඒ සඳහා බලපා ඇති හේතු කවරේද ? 

03. අඩු ආදායම්ලාභීන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේදී මූල්‍ය ආයතන විසින් සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේද ? මෙම ණය සඳහා රජය මගින් නියම කර ඇති උපරිම පොළී අනුපාතිකය කොපමණද ? එම අනුපාතිකයට වඩා සමාගම් විසින් පොළී අයකරන බව රජය නොදන්නේද ? එම උපරිම පොළී අනුපාතිකය ඉක්මවා පොළී අයකරන ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ? ණය ප්‍රවර්ධනය වශයෙන් ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ගෙන්ගෙට ගොස් සිදුකරන ණය වැඩිවැඩියෙන් ලබාදීම වැළැක්වීමටත් එසේ සිදුකරන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය කටයුතු කර තිබේද, නොඑසේ නම් ඒ මන්ද ? 

04. බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ ග්‍රාමීන් ක්‍රමවේදය යටතේ කාන්තාවන්ට 0% – 5% දක්වා වූ පොළියක් යටතේ ආයෝජන කටයුතු සඳහා ණය ලබාදෙනවා. නමුත් දැනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉතා ඉහළ උපරිම සීමාවකින් පවතිනවා. ඒ වෙනුවට ඊට වඩා අඩු සහනදායී පොළී අනුපාතිකයක් නියම කිරීමට රජය කටයුතු කරනු ලබන්නේද ? නැතහොත් රජයට මේ සඳහා විකල්ප වැඩපිළිවෙලක් තිබේද ? 

05. ග්‍රාමීය සහ නාගරික කාන්තාවන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා විවිධ හිංසාවන්ට ලක්වීමේ සිට පවුල් පිටින් සියදිවි නසාගැනීම දක්වා මෙහි ප්‍රතිවිපාක අපට අත්විඳින්නට සිදුව තිබෙනවා. මෙය ආර්ථික ගැටළුවක් පමණක් නොව සමාජ ගැටළුවක් දක්වා වර්ධනය වී ඇති අතර කඩිනමින් මෙම ගැටළුව විසඳිය යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ඇති ප්‍රධානතම සමාජ ආර්ථික ගැටළුවක් වශයෙන් විශේෂඥයින් හඳුනාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීමට රජය මේ වනවිට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද ? පසුගිය රජය මෙම ගැටළුව උග්‍රව පැවති උතුරු පළාතේ ණය කපාහැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළද දැනට එම වැඩසටහන අත්හිටුවා තිබෙනවා. මේ වනවිටත් එම ණය ලබාගෙන ණය උගුලේ පැටළී සිටින අඩු ආදායම්ලාභීන් සඳහා රටපුරාම සහන සැලසීමට රජය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේද ? එසේ නම් එම පිරිසට ලබාදෙන සහනය කුමක්දැයි මම සභාවට දන්වන්නේද ?

06. රටේ ආර්ථික සංවර්ධනයට අඩු ආදායම්ලාභීන්ගේ දායකත්වය ඉහළ නැංවීම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ප්‍රධානතම බලාපොරොත්තුව වන නමුත් අප රටේ ක්‍රියාත්මක වන ක්‍රමය තුළ අඩු ආදායම්ලාභීන් තවතවත් රටේ ආර්ථිකයට බරක් වීම සිදුවෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබදීමෙන් පමණක් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය නගාසිටුවීමක් සිදු නොවන බව නිරීක්ෂණය වන නිසා ඒ වෙනුවට වෙනත් සුදුසු ක්‍රමවේදයක් සැකසීමට රජය ක්‍රියා කරන්නේද ? නොඑසේ නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම තුළින් සමස්තයක් ලෙස අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමක් හෝ ආර්ථිකයට දායකත්වය ලබාගැනීමක් සිදුව ඇති බවට තක්සේරුවක් සිදුකර තිබේද ? එසේ නම් ඒ කොපමණද ? 

ගරු කථානායකතුමනි, මම විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය මේ සභාවට ඉදිරිපත් කරනවා. මේක ණය මර උගුලක් නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. අපි දැක්කා වරාය නගරය ගැන ඇමතිවරුන් බුරුතු පිටින් ඇවිත් මාධ්‍යවලට ප්‍රකාශ ලබාදෙනවා, නමුත් අද මේ රටේ ජනතාවගේ ජීවිතවලට බලපාන මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට කිසිදු විසඳුමක් රජය ලබාදීලා නෑ. මම ප්‍රශ්නයේ පිටපතකුත් ඔබතුමාට එව්වා, කරුණාකරලා ඒ පිළිතුරු ලබාදෙන පාර්ශ්වයට කියන්න මේවාට නිශ්චිත පිළිතුරු ලබාදෙන්න කියලා. බොහොම ස්තූතියි”

RN




Source link