December 4, 2021

Ada Rata

All news in one location

කළු,කැළණි සහ අත්තනගළු ඔය පහත්බිම් වලින් වැටී ඇති මාර්ග භාවිතයෙන් වළකින්න



ඊයේ මධ්‍යම රාත්‍රියේ සහ අද උදෑසන ඇදහැළුණු වර්ෂාව නිසා කළු,කැළණි සහ අත්තනගළු ඔය යන ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති හෙයින් එම ගංගා ද්‍රෝණි වල පහත් බිම් ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව මෙන්ම එම පහත්බිම් හරහා වැටි ඇති මාර්ග භාවිතා කරන රියදුරන් දැඩි ලෙස සැලකිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසුවේය.

සුගීශ්වර මහතා මේ බව සඳහන් කළේ අධික වර්ෂාවත් සමඟ පවතින නවතම තත්ත්වය ගැන අද (05) මාධ්‍ය වෙත පැහැදිලි කරමිනි.

මෙම ගංගා ද්‍රෝණි වලට මිලි මීටර 150 ඉක්මවූ වැසි ලැබී ඇති බවයි ඔහු පැවසුවේ.

අතතනලු ඔයේ ඉහළ ධාරා ප්‍රදේශවලට වැඩි වර්ෂාවක් ලැබීමත් හේතුවෙන් එහි පහළ ද්‍රෝණි ප්‍රදේශවල ගං වතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළත් වැඩි වීමේ අවදානම තිබෙන බවද ඔහු කියාසිටියේය. 

”කළු ගඟ ද්‍රෝණියේ පාලින්දනුවර,බුලත්සිංහල,මිල්ලනිය,හොරණ,ඉංගිරිය,දොඩන්ගොඩ,කළුතර සහ මදුරාවල යන ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වයත් වැඩි වෙන්න පුළුවන්. කැළණි ගං ද්‍රෝණියේත් පහත්බිම්වල වෙසෙන ජනතාව මෙන්ම මෙම පහත්බිම් හරහා වැටී තිබෙන මාර්ග භාවිතා කරන රියදුරන් ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්න. සම්පූර්ණ විශ්වාසයක් නැත්නම් එම මාර්ග භාවිතා කරන්න එපා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අර්ථකථන අනුව මහ ගං වතුරක් දක්වා වැඩිවීමේ අවදානමක් නැහැ. විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශවල ජල මට්ටම් සුළු වශයෙන් වැඩි වෙමින් තිබෙන්නේ. කුකුලේ ගඟ,දැදුරු ඔය,තබ්බෝව යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.මෙම ජලාශ ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව සැලකිලිමත් විය යුතුයි.”

කෙසේවෙතත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල ගංගා වන කළු,කැළණි,ගිං,අත්තනගළු ඔය වැනි ගංගා භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැති බවයි සුගීශ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 

 




Source link