October 27, 2021

Ada Rata

All news in one location

කහ ගන්නවත් බැරිතැනට වැටුනේ ඇයි?



ටික කලකට පෙර ලංකාව කහ ආනයනය තහනම් කළා. රටේ කහ හිඟයක් ඇති වුනා. කහ මිල විශාල ලෙස ඉහළ ගියා. හැබැයි ඉන් පසුව බොහෝ දෙනෙක් කහ වවන්න පෙළඹුනා. දැන් ලංකාවේ කහ නිෂ්පාදනය ඉහළ ගිහින්. එහෙත් මිල පහත වැටී නැහැ. රටේ බොහෝ දෙනෙකුට කහ ගන්නවත් බැරි තරමට කහ මිල ඉහළ ගිහින්. එහෙම වුනේ ඇයි?

වෙනත් ඕනෑම භාණ්ඩයක වගේම කහ වලත් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. ඇතැම් අය අනෙක් නිෂ්පාදකයන්ට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමයි කියන එකෙන් අදහස් වන්නේ දක්ෂකම, මහන්සි වී වැඩ කිරීම වගේ දේවල්ම නෙමෙයි. කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී විවිධ හේතු මත නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන්න පුළුවන්.

කහ නිෂ්පාදකයින් දහ දෙනෙකුගේ කහ කිලෝවක නිෂ්පාදන පිරිවැය පහත ආකාරයෙන් වෙනස් වෙනවා කියලා අපි හිතමු.

අමල් – රුපියල් 500යි 

බිමල් – රුපියල් 1000යි 

චමල් – රුපියල් 1500යි 

දිලාන් – රුපියල් 2000යි 

එරාන් – රුපියල් 2500යි 

ෆයිසාල් – රුපියල් 3000යි 

ගයාන් – රුපියල් 3500යි 

හෙක්ටර් – රුපියල් 4000යි 

අයිවන් – රුපියල් 4500යි 

ජෙගන් – රුපියල් 5000යි 

මේ එක් එක් නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව හරියටම කිලෝ 1000 බැගින් බවත්, රටේ සමස්ත කහ ඉල්ලුම කිලෝ 8000ක් ලෙසත් අපි සලකමු. මේ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 4000ක්. එම මිලට ලැයිස්තුවේ හෙක්ටර් දක්වා සිටින අය කහ සපයනවා. අන්තිම දෙන්නා කහ සපයන්නේ නැහැ. එසේ කළොත් ඔවුන්ට පාඩුයි. එහෙත් ඔවුන් නැතුව ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

හැබැයි මේ වැඩේ වෙන්නේ කහ ආනයනය නොකරනවානම්නේ. අපි හිතමු ආනයනික කහ කිලෝවක මිල රුපියල් 1000ක් කියලා. ඒ මිලට ඕනෑ තරම් කහ සපයන්න පුළුවන්. දැන් වෙළඳපොළේ කහ මිල රුපියල් 1000 දක්වා අඩු වෙනවා. ඒ එක්කම අමල් සහ බිමල් හැර අනෙකුත් සියලුම නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. අමල් හා බිමල් පමණක් තව දුරටත් කහ සපයනවා. දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණක් රට ඇතුළේ හැදෙනවා. ඉතිරි 75% ආනයනය කෙරෙනවා.

ඔහොම තියෙද්දී එකවරම ආනයන තහනම් කළාම මොකද වෙන්නේ? දැන් ඉල්ලුම කිලෝ 8000ක් වුනත් සැපයුම කිලෝ 2000ක් පමණයි. රටේ විශාල කහ හිඟයක් ඇති වෙනවා. අමල් හා බිමල් රුපියල් 7000 දක්වා කහ මිල ඉහළ දමනවා. පාරිභෝගිකයන්ගෙන් යම් පිරිසක් ඒ මිලට කහ මිල දී ගන්නවා. අමල් හා බිමල් සතු කහ ප්‍රමාණය විකිණෙනවා. කහ කිලෝවකට රුපියල් 7000ක් ගෙවන්න සූදානම් නැති පාරිභෝගිකයන්ට කහ ගන්න වෙන්නේ නැහැ. එහෙත් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

දැන් ඉහළ ගිය කහ මිල නිසා දිරිමත් වන දිලාන්, ෆයිසාල් වැනි අයත් කහ හදන්න පටන් ගන්නවා. කහ සැපයුම ඉහළ යනවා. අවසානයේදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. එහෙත් මිල රුපියල් 1000 දක්වා පහත වැටෙන්නේ නැහැ. මිල ස්ථාවර වන්නේ රුපියල් 4000 මට්ටමේ. මොකද හෙක්ටර්ට ඊට වඩා අඩුවෙන් කහ සපයන්න බැහැ. හෙක්ටර් කහ සැපයුවේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ.

මිල අඩු කිරීම සඳහා රජය විසින් සුළු කහ ප්‍රමාණයක් ආනයනය කරන්න ඉඩ දුන්නා කියා කියමු. උදාහරණයක් ලෙස කිලෝ 1000ක්. දැන් වෙන්නේ කුමක්ද?

ආනයනික කහ කිලෝ 1000ක් සැපයෙන නිසා දේශීය ඉල්ලුම කිලෝ 7000 දක්වා අඩු වෙනවා. හෙක්ටර්ට වෙළඳපොළෙන්  ඉවත් වෙන්න සිදු වෙනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. කහ කිලෝවක මිල රුපියල් 4000 සිට රුපියල් 3500 දක්වා අඩු වෙනවා. ආනයනකරු විසින්ද එම මිලට කහ විකුණා හොඳ ලාබයක් ලබා ගන්නවා. 

රට ඇතුළේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ආනයන වලින් ආරක්ෂා කළ විට වෙන්නේ ඔය වගේ දෙයක්. ආනයන පාලනය තිබෙන තුරු දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත් ඒ සමඟම මිලද ඉහළ යනවා. කොයි වෙලාවක හෝ ආනයන පාලනය ඉවත් කළ වහාම දේශීය නිෂ්පාදකයා වෙළඳපොළෙන් ඉවත් වෙනවා. 

ඩොලරයක මිල රුපියල් 200 සිට 400 දක්වා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? 

දැන් ආනයනික කහ කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළ යනවා. ඒ එක්කම චමල්ට හා එරාන්ටද වෙළඳපොළ අවස්ථාවන්  හිමි වෙනවා. ආනයන ආවා කියා ඔවුන්ව වෙළඳපොළෙන් ඉවත් කෙරෙන්නේ නැහැ. දැන් දේශීය ඉල්ලුමෙන් 50%ක් රට ඇතුළේ හැදෙනවා. ආනයනය කෙරෙන්නේ 50%ක් පමණයි. එයට අනුරූපව වෙළඳ හිඟය පහළ යනවා. ආනයන පාලනයේදී මෙන් නොව මෙය ස්ථිර තත්ත්වයක්.

– ඉකොනොමැට්ටා 




Source link