October 17, 2021

Ada Rata

All news in one location

කවුරුන් හෝ විපක්ෂය තුළ කල්ලි හදනවා නම් ඔවුන් සේවය කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට



එදා ප්‍රභූ පන්තියෙන් බැහැරව සාමාන්‍ය ජනතාවගේ පන්තියෙන් පැමිණි නායකයෙකු වශයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා නායකත්වයට පැමිණි මොහොතේ මෙරට කුල්ටූර් සමාජය සහ ප්‍රභූ පැළැන්තිය ඒ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම අද සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ද ක්‍රියාත්මක වීමට සූදානම් වන බවත් එසේ විපක්ෂය තුළ කල්ලි ඇතිකිරීමට කවුරුන්ම හෝ කටයුතු කරන්නේ නම් ඔවුන් ඉටු කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි. 

“සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂයේ නායකයා බවට පත්වෙලා තියෙන්නෙ කොහොමද ? කවුද පත්කළේ ? මේ රටේ ජනතාව. මේ රටේ පාර්ලිමේන්තුවෙ ප්‍රධානම විපක්ෂ බලවේගය බවට සජබ පත්කළේ ජනතාව විසින්. ඒ අනුව විපක්ෂ නායකයා බවට පත්වුණා. එතුමා සජබයේ නායකයා වුණේ කොහොමද ? කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකින්. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුවකින්. 

ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ නායකත්වයට පත්වෙච්ච වෙලාවෙත් මේ වගේම තත්වයකට මුහුණ දුන්නා. මේ රටේ කුල්ටූර් සමාජය, ප්‍රභූ පැළැන්තිය, ඔය නගරබද සමහර උදවිය සැලකුවේ නෑ මේ රටේ නායකත්වයට සුදුසුයි කියලා. නමුත් ජනතාව අමාරුකම් මධ්‍යයේ, අමාරු මැතිවරණයකදීත් තීරණය කළා මේ රටේ නායකයා කරන්න. ඒක විප්ලවයක් මේ රටේ. සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙක්, ප්‍රභූ පන්තියෙන් බැහැරව මේ රටේ බලයට ආපු පළවෙනි අවස්ථාව. 

කොළඹ ඉඳගෙන සීත කාමරවල දේශීය සහ විදේශීය අදෘෂ්‍යමාන බලවේග හිතනවා උපායමාර්ග වලින් මේවා වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් තීන්දුව ගන්න ඕනෙ ජනතාව. මම විශ්වාස කරනවා මේ රටේ පොදු ජනතාවගේ හඬ ප්‍රබලයි. ජනතාවයි තීන්දුව ගන්නේ. එනිසා විපක්ෂය තුළ කල්ලි හදන්න යනවා නම් කවුරුහරි, කීපදෙනෙක් හරි, විපක්ෂය තුළ ඉන්න කණ්ඩායමක් හරි, එක්කෙනෙක් හරි ඒගොල්ලො සේවය කරන්නෙ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට. ඒ අපරාධය කරන්න එපා !” 

ඉමිටියාස් බාකීර් මාකර් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link