October 19, 2021

Ada Rata

All news in one location

එදා ගොවියො වහ බිව්වෙ ජොලියට, අද මුහුදු සත්තු මැරෙන එක සාමාන්‍යයි



1994 වර්ෂයේ දී වගා ණය හේතුවෙන් වස බී සිය දිවි නසාගත් පොළොන්නරුවේ ගොවියන් ගැන එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ පොළොන්නරුවේ දේශපාලන බලධාරියෙක් වූ එච්.ජී.පී. නෙල්සන් අපූරු කතාවක් කීවේය. අපූරු කියන්නේ මින් පෙර නොවූ විරූ කියන එකට ය. සැබවින්ම නෙල්සන්ගේ ඒ කතාව මෙසිරිලක කිසිවෙකුත් මින් පෙර අසා හෝ දැන සිටී කාරණයක් නොවීය. ඔහු මෙසේ කීවේය;

“ගොවියො වහ බොන්නෙ ජොලියට !”

ඔහුගේ මේ මුග්ධ ප්‍රකාශය එවකට ඉතා බරපතල සහ ආන්දෝලනාත්මක එකක් විය. තිඹිරියාගම බණ්ඩාර, මහේන්ද්‍ර ජයසුන්දර ආදී මාධ්‍යවේදීන් එදා පොළොන්නරුවටම ගොස් එකී ඛේදවාචකය ගැන සැබෑ තොරතුරු ‘යුක්තිය’ පුවත්පත හරහා රටටම අනාවරණය කළ ආකාරය තවමත් අපට මතක ය. ඉන් හරියටම වසර විසි හතකට පසුව වත්මන් රජයේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අපට මෙසේ පවසයි;

“වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ.” 

දැන් අප සිනාසිය යුත්තේ කොතැනින්ද? සැබවින්ම කළ යුත්තේ සිනාසීම නොව හඬා වැළපීම නොවේද? අතීතයේ නෙල්සන්ලාත්, වර්තමානයේ ගොඩහේවලාත් මේ කරන්නේ කුමක්ද? මේ ලැයිස්තුවට තව ඕනෑ තරම් උදාහරණ සහ නම් එකතු කරන්නට හැකිය. ඔවුන් සියල්ලෝම එදත්, අදත්, හෙටත්, හැමදාටමත් මේ කරන්නේ මනුෂ්‍යත්වයට සහ සොබාදහමට නිගා දීමක් නොවේද? පුරවැසියා ගොන්නු නැත්නම් බූරුවන් ලෙස සළකන මේ වියත් යැයි කියාගන්නා මජරයෝ සිය ඇට නැති දිව කැමති කැමති පැත්තට හරවා ප්‍රකාශ නිකුත් කරති. ඉතින් වියතක් තරම්වත් නැති ඔවුන්ගේ වියත්කමත්, තක්කඩිකමත් රට හමුවේ කදිමට ප්‍රදර්ශනය වේ. කණගාටුවට කරුණ වන්නේ මේ ගජබින්න අදහන පුරවැසියන් තවමත් මේ රටේ ඉතුරු වී සිටීම ය. 

සමුද්‍ර ජීවීන්ගේ මළ සිරුරු ඉතා අසාමාන්‍ය ආකාරයට ලංකා වෙරළට ගොඩ ගැසෙන්නට පටන් ගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඛේදවාචකයෙන් අනතුරුව ය. සාගර පරිසර විද්‍යාඥයන් කියා සිටින්නේ වාරකන් කාලයට සමුද්‍ර සතුන්ට යම් ආකාරයක අනතුරු සිදුවිය හැකි නමුත් මෙවර මියගොස් වෙරළට ගොඩගසන සතුන්ගේ ප්‍රමාණය ඉතා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. එබැවින් මේ සිදුවීම් දෙක අතර සම්බන්ධය පැහැදිලි ය. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ පිළිස්සුම් තුවාල සහිත තල්මසෙකුගේ සිරුරක් උතුරු මුහුදේ මුසලි කරඩිකුලි වෙරළට ගොඩ ගසා ඇති බවයි. වාරකන් කාලයට මෙසේ තල්මසුන් ‘බාබකිව්’ වීම සාමාන්‍ය සිද්ධියක්ද, අසාමාන්‍ය සිද්ධියක්ද යන්න දැන් ආචාර්ය නාලක ගොඩහේවා අපට පැහැදිලි කළ යුතුය.

එක අතකට ගොඩහේවලාට වෙන කරන්න දෙයකුත් නැත. මේ පම්පෝරි ගසා තමන් පත් කරගත් ආණ්ඩුව ය. ඔවුන් වැන්නන්ගේ පාර්ලිමේන්තු සිහින, ඇමති සිහින සැබෑ වුණේ ද ඒ හරහා ය. දැන් ඉතින් කුමක් හෝ කියා දිනෙන් දින ප්‍රදර්ශනය වන මේ අසමත්කමේ හෙළුව වසා ගත යුතුය. ඒ හැර වැරැද්දක් දුටු තැන ඊට එරෙහිව පෙනී සිටින්නට තරම් වියත් හෝ බුද්ධිමත් බවක් හෘදය සාක්‍ෂිය ඔවුන් වෙත පවරා දී නැත. 

නමුත් දිනෙන් දින මේ වියැකී, දියවී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය සතු සම්පත් ය. ඒවා කිසිවෙකු ගෙදරින් රැගෙන ආ ඒවා නොවේ. මේ ඇස් පනා පිට විනාශ වී යන්නේ අපේ අනාගත පරම්පරාවට උරුම පරිසර පද්ධතිය ය. එනයින් ඊට එරෙහි වීම වත්මන් පුරවැසියාගේ යුතුකමක් සහ වගකීමක් වේ. ඒ නිසා ඇස, කන, හිත සහ මොළය මුලා කරන සුරංගනා කතාවලට නොරැවටී අපි එළැඹි බුද්ධියෙන් මේවා දෙස බලා හිඳිමු. අවැසි තැන පෙරට එමු ! 

– සිහින විමුක්ති රණවීර –




Source link