December 4, 2021

Ada Rata

All news in one location

අරක්කුවලත් ප්‍රමිතියක් නැහැ..වස කලවම් කර ඇති බව හෙළිවේ !


අරක්කු වලටත් වස කවලං වෙලා….

රස පරීක්ෂක ප්‍රධානී මේ ගැන සැක කළේ අවුරුද්දකට කලින් දිවයින පුරා රථවාහන මෙහෙයුම්වලින් සිංහල අලුත් අවුරුදු දිනය තුළ බීමත්ව රිය පැදවූ රියැදුරන් 758 දෙනකු  අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.පොලිසිය බීමත් රියැදුරන් පසුපස හඹා ගියත් මේ රියැදුරන් පානය කළ ‘මත්පැන්’ නිසි ප්‍රමිතියේ ඒවාදැයි පරීක්ෂණයකට  යොමු කරන්නේ නැත.

විෂ පොල්තෙල්, විෂ කිරිපිටි ගැන හතර වටෙන් ප්‍රවෘත්ති වාර්තා වුණත් ලංකාවේ මත්පැන් කියා බොන බෝතලයේ හෝ බියර් කෑන් එකේ ඇත්තේ මොන හත් ඉලව්වක් දැයි හොයන්නට කිසිදු  රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් නැත.

මුහුණු පොතේ එක් අයකු සටහනක් තබා තිබුණේ බය නැතිව දැන් පානය කළ හැකි එකම දෙය මත්පැන් පමණක් බවය.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ‘වස’ පොඩ්ඩක් කෑවට කමක් නෑ යැයි කියූ කතාවත් කරළියට ආවේ විස පොල්තෙල් ආනයනය හසුවීමත් සමගය. මේ කියන ප්‍රමිති ආයතනයම අරක්කුවලට ප්‍රමිතියක් හදන්නට යන බවට ප්‍රවෘත්තියක් පළවූයේ මීට වසරකටත් කලියෙන් පසුගිය වසරේ ජනවාරි 26 වැනිදාය. ඒ ප්‍රවෘත්තිය මෙසේය,

‘‘ශ්‍රී ලංකාවේ අරක්කුවල තත්ත්වය බාල වී ඇත්තේ  අරක්කුවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා නිසි මිනුම් දණ්ඩක් නොමැති වීම නිසා බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානි සමන්තා විමලසේන මහත්මිය පවසයි. අරක්කුවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිසි ප්‍රමිතිකරණයක් මේ වන විට සකස් කරමින් සිටින බවද සමන්තා මහත්මිය සඳහන් කරයි. මාධ්‍යවල පසුගියදා සඳහන් වූ අරක්කුවල රසයේ වෙනසක් සිදු වී තිබෙන්නේ අරක්කු නිෂ්පාදකයන් කෘත්‍රිම රා ඇතුළු විෂ කාරක දේ ඊට ඇතුළු කරන නිසා බවත් එම මහත්මිය පැවසුවාය.

අරක්කුවල ප්‍රමිතිය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියාමනය කරන්නේ නැති බවත්, ඇතැම් විට ඒවායේ විෂ තිබිය හැකි බවටත් ඇය තවදුරටත් පවසයි. ලංකාවේ එතනෝල් භාවිතයෙන් අරක්කු නිෂ්පාදනය කරන නිසා ඒවායේ ප්‍රමිතිය අඩු වී ඇතැයි කියන කතා මතවාදයක් පමණක් බව සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම්වල නියෝජිතයෝ ඒ පිළිබඳ විමසීමේදී කියා සිටියහ. අපේ රටේ එතනෝල්වල ප්‍රමිතියේ කිසිම අඩුවක් නැති බවත් ඔවුහු සඳහන් කර සිටියහ.

”ඒත් ඉතිං අවුරුද්දක් ගත වුණත් ප්‍රමිති කාර්යාංශය හදපු ‘මත්පැන් ප්‍රමිතියක්’ නැත. දැන් ප්‍රශ්නය වී ඇත්තේ සුපර් මාකට්වල හෝ පාර අයිනේ වයින් ස්ටෝස්වල විකුණන්නට තියෙන බෝතල් වල විස ද්‍රව්‍ය තිබේදැයි ඔප්පු කරන්නට පරීක්ෂා කරන්නට කිසිවකු ඉදිරිපත් නොවීමය.

මෙහි වඩාත් අර්බුදකාරී තත්ත්වය වන්නේ කිසිදු මත්පැන් බෝතලයක ඇතුළේ ඇති සංඝටක මොනවාදැයි බෝතලේ හෝ කවරයේ සඳහන් නොවීමයි. ඊටත් වඩා මේ කිසිදු මත්පැන් වර්ගයක කල් ඉකුත්වන දිනයක් නොහොත් Expire Date එක් සඳහන් නොවේ. ඊටත් වඩා මේ මත්පැන් සමහර ඒවායේ ලේබලයේ ඇත්තේ එක මිලක් වන අතර කරේ මුද්‍රණය කොට ඇත්තේ ඊට වැඩි මිලකි.

පොල්තෙල්වල කිරිපිටිවල විස හොයන කිසිවකුට මෙරට මත්පැන්වල විස තිබේදැයි සොයන්නට මතක් වූයේ නැත.

සුරාබදු දෙපාර්තමේන්තුව කවදත් ආඩම්බරයෙන් කියන්නෙ තමන් රජයට එකතු කර දුන් සුරාබදු ආදායමේ මිලියන ගණන ගැනය. ඒත් සුරාබදු දෙපාර්තමේන්තුව තවදුරටත් මෙරට පොදු ජනතාව පානය කරන නීත්‍යනුකූල මත්පැන්වල ඇති ප්‍රධාන සංඝටක හෝ ඒවායේ වසක් වේදැයි බලන්නට පරීක්ෂණයක් කළ බවට වාර්තා නොවේ.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ මත්පැන්, බියර්වල ඇත්තේ කවර නම් සංඝටක දැයි කිසිදු සොයා බැලීමක් කරන්නේ නැත. මේ රටේ ආහාර පරිපාලන හා පාලන මණ්ඩලය ආදී හැටහුටාමාරක් මණ්ඩල, දෙපාර්තමේන්තු තිබ්බත් මත්පැන්වල ප්‍රමිතිය ගැන මෙලෝ වගක් නැත.

රටේ ජනතාවගෙන් 30% කට වඩා මත්පැන් භාවිත කරන බවට අද ඔප්පු වී හමාරය. ජනතාව මේ බොන මත්පැන් නිසා වකුගඩු රෝගීන් හා විශේෂයෙන් සිරෝසිස් රෝගීන් ප්‍රතිශතය එන්න එන්නම වැඩි වුණත්  ජනතාව මේ රජයට බදු ගෙවා පානය කරන නීත්‍යනුකූල ‘මත්පැන්’ සෞඛ්‍යරක්ෂිතව ඇත්දැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී කළ පරීක්ෂණයක් නැත.

ලංකාවේ මත්පැන් ලෝලීන්ගේ ජනප්‍රියම අරක්කු වර්ගය වන්නේ ‘ගල් අරක්කු’ නමින් හැඳින්වෙන වර්ගයයි. 2017 දී අයවැය විවාදයකදී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේදී කියන ලද්දේ සාමාන්‍ය ජනතාව කසිප්පු බීමෙන් නවත්වා ගැනීමට ගල් අරක්කු බෝතලය රුපියල් දහස දක්වා අඩු කළ යුතු බවය.

අද ගල් අරක්කු බෝතලයක මිල රු. 1640 කි. මේ බෝතලයකට සුරාබදු දෙපාර්තමේන්තුව රු. 830 ක බද්දක් අයකරන අතර වැට් බද්ද ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. 120 ක්ද ඔය කියන බදුවලට අමතරව 28% ආදායම් බද්දක්ද අය කෙරේ. මේ අනුව ගල් අරක්කු බෝතලයක් විකුණන රු. 1640 න් රුපියල් 1000 ක්ම ඇත්තේ ආණ්ඩුවේ බදුය.

පසුගිය කොවිඩ් සමය තුළ දින 68 ක් මෙරට බාර් වසා දමන ලදී. බාර් නැවත විවෘත කිරීමෙන් පසු දින 15 ක් තුළ ලැබූ ලාභය රුපියල් කෝටි 200 කි. ඒත් ආණ්ඩුවේ ප්‍රමිති ආයතනයටවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් ඔය කියන මොන ආයතනයකටවත් ‘මත්පැන්’ කියා පොදු ජනතාව බොන්නේ වස දැයි සෙවීමට ගියේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක කලකට ඉහත තිබුණේ ලංකාවේ එක් පුද්ගලයෙක් වසරකට මත්පැන් (Alcohol) ලීටර් 2.5 සිට 4.9 දක්වා පානය කරන බවය. මේ වාර්තාවට නීති විරෝධී මත්පැන් අයත් නොවන අතර මේ සංඛ්‍යා ලේඛන ගොඩනගා ඇත්තේ රටේ ජනගහනයෙන් බෙදීමෙන් පසුව, අහඹු ලෙස විනා විය යුතුය.

බොහෝ දෙනා අසන්නේ වස කියලා දැනගෙන බොන අරක්කුවලට මොන ප්‍රමිතියක්ද කියාය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ සංස්කෘතිය තුළ මත්පැන් බීමේ ‘කල්චර්’ එකක් නොමැති වීමය. දැන් ඔය අපේ රටේ වගේ අරක්කු බෝතලේ ‘කටේ’ තියා ගහන ‘වාඩි ෂෝට්’ මත්පැන් බීමේ සංස්කෘතිය නැත. බොහෝ යුරෝපීය රටවල මත්පැන් යනු කෑම අනුභවය සමග පානයට ගන්නා සාමාන්‍ය පානයකි.එහිදි සැර අඩු මත්පැන් පානය සුලබ වන අතර ලංකාවේ සංස්කෘතිය වන්නේ කරටි කැඩෙන්නට අරක්කු බීමයි.ඒ බොන්නේද සැර වැඩි මත්පැන් නිසා සිදුවන හානිය වැඩිය.බීමත්ව රිය පැදවීමේ සිට අරක්කු බොන තැන සිට නිවස දක්වා දුවන ගැටුමේ බරපතල කම තේරෙන්නේ වෙරි හිදුන විටය.

මෙරට ජනාධිපතිවරයකු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බළකායක් පිහිටු වූවත් උන්නාන්සේටවත් මෙරට නීත්‍යනුකූල මත්පැන්වල ප්‍රමිතිය ගැන විමසන්නට මතක් වූයේ නැත. ඒ ආණ්ඩුවම ගැසට් පත්‍රයක් මගින් විදේශීය මත්පැන්වලට පනවා තිබූ 11% ක වැට් බද්ද අඩු කරන ලදී. නමුත් ඔය කියන බළකාය පිටරටින් ගේන මත්පැන්වල ඇත්තේ මොනවාදැයි සොයන්නට ගියේ නැත.
මේ සිංහල අවුරුද්දට වැඩිම සෙනඟ පෝලිම් තිබුණේ බාර් ඉදිරිපිටය.  මේ බෝතල් ඇත්තේ කවර නම් සංඝටකදැයි කියන්නට මේ මොන වෙළෙන්දෙක්වත් දන්නේ නැත. එම නිසා මේ සිංහල අවුරුද්ද ‘මතට තිත’ තැබීමට පෙර සොයා බැලිය යුත්තේ මත්පැන්වල ඇති ‘වසට තිත’ තැබීමේ සැබෑ රාජ්‍ය යාන්ත්‍රණයක් විධිමත් ලෙස ආරම්භ කිරීමය.

වජිර ලියනගේ
ඉරිදා අරුණ පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරිනි



Source link