November 29, 2021

Ada Rata

All news in one location

අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් – Colombo Times


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 22 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පීඩන කලාපය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවනු ඇති බවයි.

ගෙවුණු පැය 24 තුළ මෙරට වැඩිම වර්ෂාපතනය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වාර්ෂාපතනයේ වැඩි බලපෑමක් පුත්තලම දිස්ත්‍රික්කයට එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් හලාවත හා මාදම්පේ ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙන බව සඳහන්.

කුකුළේගඟ පිටාර ගැලීම හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ දඹල, නාලියද්ද, ඇටඹගස් හන්දිය, පරගොඩ ආදී ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 8ම අද විවෘත කෙරුණ අතර මා ඔයේ තෝප්පුව පාලම ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් මානවේරිය, ඇත්ගාල, ඩෙනිඩස් පුරය, බෝලගල යන ගම්මානවල නිවාස රැසක් ජලයෙන් යටවුණා.

මා ඔය පිටාර ගැලීමෙන් කටාන කෝපියාවත්ත මුරුතෑන හා බම්බුකුලිය ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කැලණි ගඟේ ජල මට්ටම අද පස්වරු 5 පමණ වනවිට නාගලගම්වීදිය ජලමාපකයේ දැක්වුණේ අඩි 4.3ක් ලෙස වන අතර එය සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සැලකෙනවා.

නායයාමේ අවදානම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසාදමා තිබෙනවා.

අලව්ව, දම්මැහැර කන්ද පාමුල පිහිටි නිවාස 08කද මේ වනවිට නායයාමේ අවදානමට ලක්ව තිබෙනවා.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහවැව මංසන්ධිය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ආනමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය වාන් දැමීම නිසා පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබුණා.

මේ අතර කල්පිටිය, වනාතවිල්ලුව, ගිරිඋල්ල, එළුවන්කුලම හා තාරවිල්ලුව ප්‍රදේශවල පුද්ගලයන් 288 දෙනෙකු මුදා ගැනීමෙන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් වුණා. (colombotimes.lk)

Viber



Source link