October 28, 2021

Ada Rata

All news in one location

අපනයනකරුවන්ගේ ඩොලර් කෙලින්ම මහ බැංකුවට


විවිධ වාණිජ බැංකුවල පවතින අපනයනකරුවන්ගේ ගිණුම් වෙනුවට මහ බැංකුව වෙත අපනයනකරුවන්ගේ මුදල් සෘජුව ලැබෙන ක්‍රමයක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අධ්‍යයනය කරමින් සිටියි.

රටේ පවතින මූල්‍ය අර්බුදයට තවත් විසඳුමක් ලෙස මෙලෙස අපනයනකරුවන්ගෙන් රටට ලැබෙන මුදල් සෘජුව ලබාගැනීමේ හැකියාව ගවේශනය කරන බව මහ බැංකුවේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට සඳහන් කළේය.

මෙලෙස ලබාගන්නා විදේශ විනිමයවලින් යම් ප්‍රමාණයක් රුපියල් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කෙරෙන අතර මෙවැනි ක්‍රමයක් ඉන්දියාවද අනුගමනය කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉන්දියානු මහ බැංකුව සතුව ඇති සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 650ක් තරම් විශාල වන අතර එමගින් අපනයනකරුවන්ට සිය මුදල් මෙම ක්‍රමය තැන්පත් කිරීමේදී එරට සංචිත පිළිබඳව සැකයක් නොපවතී. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව මේ මොහොතේ පවතින්නේ ඩොලර් බිලියන 2.7ක් වැනි සුළු සංචිතයකි. එම නිසා බලහත්කාරයෙන් මෙලෙස මහ බැංකුව වෙත අපනයනකරුවන් සතු ඩොලර් ලබාගෙන ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීමට උත්සාහ කළහොත් ඉන් විශාල විරෝධයක් උද්ගතවනු ඇතැයි අපනයනකරුවෝ පවසති.

මේ අතර පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාවන් නිකුත් කළ මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉදිරි මාස කීපයේදී තවදුරටත් දුර්වල වනු ඇති බවයි.

 



Source link