December 5, 2021

Ada Rata

All news in one location

අඳුරු යුගයක ලකුණු නිර්මිත කවි ආරක් : ’දුහුල් නැවතුම් අගිසි’



“අඳුරු කාලයේ දී ගී ගැයෙනවාද? ඔව්, ඒ අඳුරු යුගය ගැනයි” යැයි බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් පැවැසීය. අඳුරු යුග නිරූපිත නිර්මාණ බහුල ව නොවූවත්  මෙහි ද වෙයි. එක්කෝ පීඩිත කාලයක් ගැන හෝ ඒ යුගයේ මිනිසුන්ගේ ලක්ෂණ උරා ගත් ඒවා වශයෙන් නිර්මාණ බිහි වෙයි. හුදෙක් වසංගතයෙන් නොව, මුග්ධ විෂම පාලනයක් ද සහිතවීම වත්මනෙහි අඳුරුයුග ගණනක එකතුවක් මවාලයි. යුද්ධයෙන් පසු පාවෙන වල්මත් ජීවිත බහුල වීම, ධනවාදය ඔඩු දිවීම, ගෝලීයකරණය වූ සමාජ මාධ්‍යයන්ගෙන් හුදකලා වර්ධනය, අරමුණු විහීන ප්‍රාණීන්, එකම ආකාරයේ භාෂාවක් සමාජ මාධ්‍යයන්හි ව්‍යාප්ත වීම පොදුවේ දක්නට ලැබුණකි. නගරබද තාරුණ්‍යය මෙය අත්විඳි ආකාරය හා තත්කාලීන සමාජ දේශපාලන යුග විපර්යාස ඔවුන්ට බලපෑ ආකාරය පිළිබිඹු කෙරෙන ලක්ෂණ, ‘දුහුල් නැවතුම් අගිසි’ මගින් හඳුනාගත හැකිය.

මෙහි ඇත්තේ, නගරබද මධ්‍යම පාන්තික තරුණයෙකු ලැබූ අත්දැකීම් ය. තම නිදහස භුක්ති විඳින, ස්ථිර දැඩි තැනක නොනවතින, දුහුල් නැවතුම්වල අග්ගිස්සේ මද මද රැඳෙමින් යන ගමනක් ගැන කෘතියේ තේමාවේ කියැවෙන අදහස, කෘතියේ කවිවල ද ලකුණක් ලෙස දැකිය හැකිය. එය තත් යුගයෙහි නිරූපණයක් ලෙස ද ගත හැකිය.

‘සමනලයෙක් ඇවිත් ඇගේ කාමරයට’ හි තම සිත් ගත් කාන්තාව සමනලයාට සමාන කරන අතර, සමනලයාව සිනමාවකට සමාන කරමින් එකවර රූපක දෙකක් බවට පත්කරයි. ඇයව තමා සතු කරගැනීමට, අයිතිය හිමිකරගැනීමට සැරසෙද්දී නොඑසේ නම්, නීතිමය බැඳීමකට යාමට තැත්කිරීමේ දී ආගන්තුකයෙකු සේ ඇය පලා යන්නේ සේ සමනලයා පලා යන්නා සේ ය. ‘ඇස් ඉස්මොල්ලෙ යන පාට’ වැනි වදනක් නිර්මාණයට නව පණක් ගෙන එයි.  ‘මෙට්ටය යට කවි කොළය’ නම් කවියේ, බෝඩිමක වෙසෙන හුදෙකලා තරුණයෙකු කථකයා ව ඉදිරිපත් වෙයි. ඔහුට අවට සියල්ල පෙනෙන්නේ රුයිතෙට ය. චින්තක රණසිංහ ලියූ, කවියක ද තරුණයෙක් මාර්ගයේ ගමන් ගනිද්දී, පයේ වැදෙන ගල්ගෙඩියත් තමාට අවැඩ කරනු පිණිස සිතා මතා පයේ වැදුණි යැයි පවසයි. මේ පංකාව තරුණයාට පෙනෙන්නේ ද එලෙසිනි. ඇති ප්‍රශ්න මදිවාට පංකාව ද තමාට සරදම් කරයි.

‘තොල විකාගත් පංකාව ද
නොරිස්සුම් රවුමක් දෙකක්
රුවිතට ම කරකෝන’

‘අහසක මතක හුස්මක’ යම් ස්මරණයක් පිළිබඳ ව නොනවතින අදහස් ගොන්නක ඵලයකි. මතක සිහිකැඳවෙන්නේ, ‘දහයියා අළු ඇවිළුණා මෙනි’. රෝමය ගිනි ගනිද්දී නීරෝ වයන වීණාවේ හඬ ලියන්නාට ඇසෙන්නට වෙයි. රටත්, රැකියාවත්, සබඳතාත් යන සියල්ලේ අවිනිශ්චිත බව ආත්මයක් ව ඔහු  වටා සරයි. නමුත්, මේ කවියේ එක් නිශ්චිත දෙයකට සීමා නොවී අදහස විසුරුණු බවක් පෙනෙනා බැවින් දෝ, අර්ථය වැටහෙන්නේ කිහිපවර කියැවූ තැනදී ය. ‘දුකඳුළු, දුහුලු නැවතුම් අගිසි’, අලංකාරය, පර්ෆෙක්ට් බව හොඳ ම දෙය යැයි අර්ථගැන්වී ඇති ඩිජිටල් – නූතන ලෝකයේ, අනෙකුත් සියලු සැබෑ සාරවත්කම් යට යන අරුම කියන්නාක් මෙනි. ‘සායම් තුඩ පිපීම/ නගරයක අග’ වැනි වදන් පසන් අදහස් කළ දෙය, සහෘදයා කරා යනනේ දැයි යම් සැකක් උපදින තැන් දෙකකි. ‘අග’/’දෙතැන’ යන වදන් නිර්මාණ කිහිපක ම රිද්මය රකිනු සඳහා යෙදූ බව දක්නට වෙයි.

‘පියස්සක් නැති අහස’ පුරුෂයෙකු නොමැති නිවසක වසන්නිය යන්න සංකේතීය ව දක්වයි. ‘අහසින් හලන ගෙරවුම් හාමත’ ‘මව් තාරකාවන්ගේ සෙවණැලි යට සොවින් නිදනා තරු පැටව්’ ඈත් දරුවනුත් ඉරණම හඟවයි. ‘ශේෂ ප‌ත්‍රෙක අතුරලා අ යනු ආ යනු හිරවෙලා’ පන්ති පැලැන්ති සමාජයේ, ධනවාදී ලෝකයක, පීඩිත පන්තියේ දුක්විඳින තේ දලු නෙළන පවුලක දැරියක ගැන ය. ලැයිමට ලියුම ප්‍රමාද වී, ඇයට සරසවි වරම අහිමිව ගොසිනි. එබැවින් ගුරුවරිය කී ‘ආර්ථිකය සමතුලිත වී ඇතැයි කී’ න්‍යායන් වැරදී ඇත.

‘ආර්ථිකේ සමතුලිත වේ කිව්ව මිස් අන්න-පන්තියේ අයිනට වෙලා – සාරි පොටකින් නාහෙ වහගෙන’

ශබ්ද රසය, රිද්මය ද සමඟ අර්ථ පෑහී කවි මැවෙන තැන් තවදුරටත් මෙසේ ය.

‘ඇස් කෙවිනි කිස් කවන – උස් සුසුම පොදි මවන
කෙස් දිගේ බිම හැලෙන – දොස් කොයිබ කොයි කියන’

‘ලාටු තැවරුණු මතක රංචු – චාටු කොයිබට ගිහින් හැංගූ’

‘දැන් ඉතින් ලෑස්තිය
ඇස් ලේ ගගහ වෙන්වෙන්න
පුරුදු විදියට නැතුව බැරිද?
නිල් පාට ඉතිරි කර යන්න…’

පොදුවේ කාව්‍ය සංග්‍රහයේ දක්නට ලැබෙන අප පෙර කී, විප්‍රලම්භ ගෘංගාරය, ශෝක භාව, ගුප්ත දෑ මෙන් ම සැබෑ දුකඳුරු දක්නා ලැබේ.  පසන් තරුණයාට අප කරන යෝජනා කිහිපයකි. භාෂා අරගලයක යෙදෙමින් කවි ගෙන යන ලකුණු දැකිය හැකි බැවින්, සමකාලීන සහ නූතන කවි ඇසුරට වඩා බරක් මුල්කාලීන(සම්භාව්‍ය, පෙරදිග සහ අප්‍රකට නමුත් සාධනීය) කවි කියැවුමෙහි යෙදෙමින් කාලයක් ගතකිරීම පළමු යෝජනාවයි. දෙවැන්න, කවිය ලියමින් යනවිට එක් තැනකින් එහා යමක් නොලියවෙන්නෙ නම්, මද කලකට විරාමයක් දී පසුව නොසිතන මොහොතක එය අතට ගෙන යළි කියවා බලා සැකසිය යුතු තැනක් ඇතැයි දැනේ නම්  එයට සංස්කරණයක් ලබාදීමයි. තෙවැන්න, කවියේ රිද්මය රැකීමට සහ පිරිපුන් බව වඩනු සඳහා වදන් පෙළ නොගස්වා කවියට බස තුළ ගලායාමට ඉඩ සැලසීමයි. අවසාන වශයෙන්, මේ විමැසුම් ඇතුළු සෙසු විචාර උවදෙස් වුවමනාවට වඩා සිතට නොගෙන, තම අනන්‍යතාව පරිදි කාව්‍යකරණයේ යෙදීමයි. මේ කෙටි විමසුම, කියවීමෙන්-සැකසීමෙන්-යළි යළි ලිවීමෙන් මීටත් සොඳ කවි පසන් අතින් බිහිවනු පිණිසය.

ඩිල්ශානි චතුරිකා දාබරේ




Source link