October 28, 2021

Ada Rata

All news in one location

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 6%ක් කෝමාරිකා වගාවකට.. ආයෝජකයා ටීවී-රේඩියෝ අලුත්වැඩියා කරන්නෙක්… සැබෑ ආයෝජකයා ඇමරිකාවේ..


September 23, 2021 at 10:40 am | lanka C news

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 6%ක් කෝමාරිකා වගාවකට.. ආයෝජකයා ටීවී-රේඩියෝ අලුත්වැඩියා කරන්නෙක්… සැබෑ ආයෝජකයා ඇමරිකාවේ..

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සන්දේශයකට අනුව මෙම සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 104066 ක් (හෙක්ටයාර 42115 ක්) වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම අනුමැතිය ලබා දීමට වසර තුනකට පමණ පෙර රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගෙන කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරින. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව අද වන විට යාය 18 ගම්මානයේ ජනතාව දරුණු ලෙස පීඩනයට ලක් කරමින් අඛණ්ඩ ව ඉදිකිරීම් හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මෙරට ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් දේශපාලන බලය භාවිතා කරමින් මෙම සමාගම විසින් අඛණ්ඩ ව සිදු කරමින් පවතී.

මේ ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා ඒක භෝග වාණිජ වගාවක් ලෙස කෝමාරිකා වගාව සිදු කිරීමට නියමිත ය. ඒ සඳහා රාජාංගනය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 2000 ක් කෝමාරිකා පැල තවාන පවත්වාගෙන යාමටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 102000 ක් කෝමාරිකා වගා බිම් පවත්වාගෙන යාමටත්, ව්‍යාපෘතියේ කර්මාන්ත ශාලාව, මෙහෙයුම් කාර්යාලය හා ගබඩාංගනය ඉදි කිරීමට අක්කර 66 ක භූමියක් ලබා ගැනීමටත් නියමිත ව ඇත.

රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධානවලට අනුව වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට නියමිත ය. අක්කර 102000 ක් වන වගා බිම් සඳහා ලබා ගැනීමට යෝජිත ව ඇත්තේ දීමනාපත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විදින පවුල්වලට අයත් ඉඩම් ය. මෙම සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 කි. මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යෙදවීමට ආයෝජකයා සැලැසුම් කර ඇති බව අමාත්‍ය මණ්ඩල අනුමැතියේ සඳහන් වේ.

දේශීය පාරිභෝජනය සඳහා සිදු කෙරෙන කුඹුරු ගොවිතැනට පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒක භෝග අපනයන වාණිජ වගාවක් ලෙස විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිත කිරීමට නියමිත ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැකි ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 717900 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 42115 ක් යොදා ගැනීමට නියමිත ව ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6% ක් පමණ වේ.

අනුරාධපුර ගොවි ජනතාවට වගා බිම් අහිමි කිරීම

මෙතරම් විශාල ඉඩම් ප්‍රමාණයක් කෝමාරිකා වගාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට එම දිස්ත්‍රික්කයේ ඉඩම් භාවිත රටාව පිළිබඳ ව සලකා බැලිය යුතු ය. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෙවතු හෙක්ටයාර 88859 ක් පමණ පවතී. එය මුළු භූමි ප්‍රමාණයෙන් 12% කි. ස්ථිර භෝග, කෙසෙල් හා පොල් වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 6494 කි. එය මුළු භූමි ප්‍රමාණයෙන් 1% ක ප්‍රතිශතයකි. කුඹුරු ඉඩම් හෙක්ටයාර 161752 ක් පුරා පැතිර ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 23% ක් පමණ වේ. වාර්ෂික භෝග හා හේන් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 87510 ක් වේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12% ක භූමි ප්‍රමාණයක පැතිර තිබේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 344615 ක් වේ. එම වගා බිම් වලින් මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට 12% ක් ලබා දීමට සිදු වන බව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි. ඒ හේතුවෙන් රටේ ජනතාවට අහිමි වන ආහාර භෝග අස්වැන්නේ ප්‍රමාණය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතු ව ඇත. කෝමාරිකා ශාක අපනයනය කිරීමෙන් ලැබෙන ලාබය හා ආහාර බෝග අස්වැන්න අහිමි වීම හේතුවෙන් ඇති වන පාඩුව පිළිබඳ නිවැරදි අධ්‍යයනයකින් තොර ව මෙම ඉඩම් ලබා දීමෙන් මෙරට ආහාර ස්වෛරීභාවය බිඳ වැටීමට මෙම ව්‍යාපෘතිය අනාගතයේ දී ප්‍රධාන හේතුවක් බවට පත් වනු ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන වගා බිම්වල සුරක්ෂිතතාවයට ප්‍රධාන සාධකය වන්නේ එහි පවතින ජල මූලාශ්‍රයන් ය. වැව්, ජලාශ, ගංඟා, ඇළ, දොළ හා වගුරු බිම් හෙක්ටයාර 67630 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 10% කි. මෙම සියලු ජල මූලාශ්‍රවල පැවැත්ම රැදී ඇත්තේ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ වන වනාන්තර පරිසර පද්ධති මත ය. මෙම දිස්ත්‍රික්කයේ ඝන වනාන්තර හෙක්ටයාර 175627 ක් පමණ ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 25% ක් පමණ වේ. ලදු කැලෑ ඇතුළු ව විවෘත වනාන්තර හෙක්ටයාර 116889 ක් පමණ පිහිටා තිබේ. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 16% කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ඉතිරි හෙක්ටයාර 13139 ට අයත් වන්නේ භෞතික සංවර්ධනයන් සහිත ප්‍රදේශ සහ ගල්පර හා වැලි කඳු ප්‍රදේශයන් ය. ඒ අනුව මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනාන්තර පරිසර පද්ධති ලබා දීම සිදු කළ හොත් දිස්ත්‍රික්කයේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 14% ක් අහිමි වේ. මෙසේ අහිමි වීමට නියමිත වනාන්තර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර, ගිනිකොන සහ දකුණු මායිම් හා සම්බන්ධ ව පවතී.  එම ජල පෝෂක වනාන්තර අහිමි වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වගා බිම්වලට ජලය සීමා වීම නිසා යල හා මහ දෙකන්නය වගා කිරීමට නොහැකිව දරුණු බිඳ වැටීමකට ගොවි ජනතාව පත් වනු ඇත.

වනාන්තර ඉඩම් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සිදු නොකළ ද දැනට වගා කරන වගා බිම් කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුවෙන් දෛනික පරිභෝජනය සඳහා භාවිතා කරන වාර්ෂික බෝග වගා කිරීමට ඇති භූමි ප්‍රමාණය සීමා වීම නිසා වනාන්තර ඉඩම් වරින්වර එළි කරමින් වාර්ෂික බෝග වගා කිරීමට ගොවි ජනතාවට සිදු වනු ඇත. ඒ සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පෙළැඹවීම් කිරීමෙන් සිදු වන්නේ ජල පෝෂක වනාන්තර අහිමි වීමෙන් දරුණු ජල අර්බුධයකට මුහුණ දීමට ගොවි ජනතාවට සිදු වීම ය.

ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව කෝමාරිකා වගාව සඳහා දීමනාපත්‍ර හා බලපත්‍ර යටතේ වගා කරන ඉඩම් යොදා ගැනීමට නියමිත ව ඇත. වාර්ෂික බලපත්‍ර යටතේ වගා කෙරෙන බොහෝ ඉඩම්වල මහ කන්නයට හේන් වගා ව සිදු කෙරෙන අතර යල කන්නයට එම හේන් වගා බිම් අතහර දමනු ලැබේ. අතහැර දමන හේන් වගා බිම් ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ව්‍යාප්ත ව පවතින නියං සමයේ දී අලි – ඇතුන් ඇතුළු බොහෝ වන සතුන්ගේ ආහාර බිම් බවට පත් වේ. එම භූමි ප්‍රදේශ කෝමාරිකා වගාව සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පත් කර ඉතිරි වගා බිම් ද අනතුරට ලක් කිරීමයි. එපමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධ ව ඇති පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්කවලට ද මේ තත්ත්වය හේතුවෙන් අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත.

මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වන්නේ දැනට බලපත්‍ර යටතේ පවතින හේන් වගා බිම් කෝමාරිකා වගාවට යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා වාර්ෂික බෝග වගා කිරීමට වනාන්තර එළි කර ගොවි ජනතාව විසින් ලබා ගැනීම හේතුවෙනි. මේ නිසා අලි – මිනිස් ගැටුම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වර්ධනීය මට්ටමකට පරිවර්ථනය වනු ඇත. මෙම කිසිදු තත්ත්වයක් පිළිබඳ ව අධ්‍යයනයකින් තොර ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම යනු අමාත්‍ය මණ්ඩලයේ ඉතා ම අඥාන තීරණයකි. මෙම තීරණය ගැනීමට මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා දැඩි බලපෑමක් අමාත්‍ය මණ්ඩලයට සිදු කර ඇති බව මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට භාවිත කළ ලේඛන අධ්‍යයනයෙන් පෙනී යයි.

ශක්යතා අධ්යයනයකින් තොර කැබිනට් අනුමැතිය ලබා දිය හැකි ?

මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කිරීම සඳහා පිළිගත්, අනුමත තාක්ෂණික වාර්තාවක් භාවිත කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු ය. ඒ මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ප්‍රදේශයේ ඉඩම් භාවිත කළ හැකි ආකාරය හා ඉන් සිදු වන බලපෑම් හා ආර්ථීක තිරසර භාවය මෙන් ම ව්‍යාපෘතියේ ඵලදායීතාවය පිළිබඳ ව මූලික අවබෝධයක් ලබා ගත යුතු ය. ඒ මත පදනම් ව මෙරට ක්‍රියාත්මක අණ පනත්වලට අනුව අදාළ ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු අතර ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යොමු විය යුතු ය. ඒ සඳහා සකස් කරන වාර්තාව මහජන අදහස් සඳහා විවෘත ව තැබිය යුතු අතර එම අදහස් මත ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය අනුමැතිය ලබා දීම තීරණය කරනු ලැබේ.

නමුත් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් හෝ මූලික ව්‍යාපෘති යෝජනාවලියක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ සකස් කර නොමැති ව්‍යාපෘතියක් සඳහා ඉඩම් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප්‍රධාන ගැටළුවකි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට සකස් කර ඇත්තේ මූලික සංකල්ප වාර්තාවක් පමණි. එම වාර්තාව “වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” නමින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් බව සඳහන් වේ.

එම මුදල ආයෝජනය කිරීමට සැලැසුම් කර ඇත්තේ, ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 15 ක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 28 ක්, නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 10 ක්, පර්යේෂණායතනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 35 ක්, පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2 ක් හා කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 3 ක් ආදී වශයෙනි. ඒ අනුව කෝමාරිකා වගා ව්‍යාපෘතියට අමතර ව විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් කාර්යයන් සඳහා ආයෝජනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලැසුම් කර තිබේ. නමුත් අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 ක් ලෙස සඳහන් කර තිබේ. එය මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් ආයෝජන මුදලට  වඩා දෙගුණයකට වැඩි ආයෝජනය කි. එසේ නම් එම මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවට අනුව ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ නොහැකි ය. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු ව ඇත. වසර තුනකට පසුව ආයෝජන මුදල පළමු සැලසුමේ සඳහන් මුදල මෙන් දෙගුණයකට වඩා වැඩි වී ඇත්නම් එම ආයෝජනය ඵලදායී ආයෝජනයක් ද නැද්ද යන්න පිළිබඳ ව ඉඩම් ලබා දීමට ප්‍රථම සොයා බැලිය යුතු ය.

ව්යාජ ආයෝජකයා විරාජ් තාබුගල

මෙම ව්‍යාපෘතියට අදාළ ව මීට වසර තුනක සිට රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව සංවර්ධන ක්‍රියාවලීන් බොහොමයක් සිදු කරමින් පවතී. ව්‍යාපෘතිය සඳහා මෙම ගම්මානයේ වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර තුනකට ආසන්න කාලයක සිට ගොවි පවුල් 84 කට අයත් වගා බිම් වසර 10 ක බදු පදනම මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර වගා බිම් අහිමි එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. මෙම සමාගම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව 2018 ජූලි මස 26 වන දින අංක ඡඪ 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස චන්දික විරාජ් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප්‍රථම රාජාංගනය ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් මීගමුව හා අනුරාධපුර බන්ධනාගාරවල බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.

සැබෑ ආයෝජකයා ලේඛා වික්රමසේකරන්

විරාජ් තාබුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස ව්‍යාජ ව පෙනී සිටිමින් ජනතාව හා රාජ්‍ය නිලධාරීන් මුලා කිරීම සිදු කළ ද මෙම ව්‍යාපෘතියේ සැබෑ ආයෝජකයා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඕම් ජීවා සමාගමේ ලේඛා වික්‍රමසේකරන් මහත්මියයි. අවුරා ලංකා පුද්ගලික සමාගම නමින් ඕම් ජීවා සමාගමට පසුගිය වසර තුනක කාලයේ අවස්ථා දෙකක දී ඖෂධ වර්ග අපනයනය කිරීම සිදු කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු වාර්තාවලට අනුව සනාථ වී තිබේ.

අවුරා ලංකා පුද්ගලික සමාගමේ වෙබ් අඩවියේ ද ඕම් ජීවා සමාගම පිළිබඳ සඳහන් කර ඇත. එසේ තිබිය දී එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා නීති විරෝධීව කටයුතු කරන මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටීමට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තාබුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා බවත් ඔහු මහ පරිමාණ ව්‍යාපාරිකයකු බවත් සඳහන් කරමින් ජනතාව මුලා කිරීමේ නිරත ව සිටී.

නීති විරෝධී ව්යාපෘතියට රාජ් නිලධාරීන්ගේ සහය

අද වන විට මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව ක්‍රියාත්මක කර ගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතා සහ නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්, කීර්ති ගමගේ මහතා විසින් සහයෝගය ලබා දෙමින් තිබේ. පසුගිය දිනවල මෙම නිලධාරීන් ගුවන් මගින් රාජාංගනය, යාය 18 ගම්මානයට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා පැමිණ තිබේ.

ඊට අමතර ව ව්‍යාපෘතියේ මුල් අදියරේ සිට ම අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් චන්ද්‍රසේන, රාජාංගන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිනී, රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී එල්. පී. නිරෝෂා සමන්ති යන මහත්ම මහත්මීන්ගේ සහයෝගය යටතේ සහ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් පී. ජී. සුනිල් අබේකෝන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු කේ. ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ මෙන්ම රාජාංගනය යාය 11 පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව සිදු කරමින් පවතී.

රුවන්වැලිසෑය මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා තාබුගල මහතා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද වාර්තා වේ. මෙම ව්‍යාපෘතියට යාය 18 ගම්මානයේ ජනතාවගේ ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන්නේ මාලිගාතැන්න රජමහා විහාරයේ විහාරාධිපති, ළමා අපචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උඩුදුම්බර වජිර හිමියන් ය.

සමාගමෙන් යාය 18 ගම්මානයට සිදු කරන විනාශය

ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් නැතහොත් රුපියල් මිලියන 74000 ක ආයෝජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මීට වසර තුනකට ප්‍රථම පළමු අදියරේ දී ගොවි ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සැකසීම සිදු කෙරින. විශේෂයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ගිණිකොන මායිම් ආශ්‍රිත ව කලා ඔය හරස් කර අලුතින් ඇළ මාර්ගයක් ඉදි කර මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීම සිදු කරන ලදී. ඇළ මාර්ග සැකසීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ වනාන්තර ඉවත් කර පස් කපා ඇති අතර ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොතිබුණි. එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රිට් හා ගල් අතුරා සකස් කර ඇත. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දනු ලැබූ අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කෙරින. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත. ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංගාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළ හොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත.

යාය 18 ගම්මානය ආශ්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිතා කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලුතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලු සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත.

මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

කෝමාරිකා වගා ව්යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම

කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත් මෙය ඒක භෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලු බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග්‍ර වන අතර එසේ සේදී යන පස් රොන්මඩ ලෙස වැව් හා ගංගා, ඇළ, දොළවල තැම්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා එම ජල මූලාශ්‍රවල ධාරිතාව අඩු වීමෙන් රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප්‍රදේශයේ වගා බිම්වලට ලබා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂි කර්මාන්තය බිඳ වැටීමට ලක් වේ.

නියං සමය පවතින කාලවල දී විවෘත කෝමාරිකා වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය සීග්‍රයෙන් අඩු වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල ජනතාවට උග්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස සීග්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප්‍රධාන ගැටළුවක් බවට පත් වනු ඇත.

මේ නිසා කෝමාරිකා වගාව මිශ්‍ර භෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක භෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටළු බොහොමයක් උද්ගත වනු ඇත.

මෙම ව්‍යාපෘතියේ භාවිතයට ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උදු, තල, බඩඉරිගු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි භෝග වර්ග හා වී වගාව සිදු කළ බිමි ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් මෙම සමාගමෙන් ගොවීන්ට අහිමි කිරීමෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙද පොළ මත යැපීමට සිදු ව තිබේ. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

අලිමිනිස් ගැටුම වර්ධනය කිරීම

අද වන විට වියළි කලාපය පුරා බඩඉරිගු හා උක් ශාක ඒක බෝග වාණිජ වගාවක් ලෙස මහ පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම නිසා වාසස්ථාන අහිමි වීමෙන් අලි – ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ව අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් ව තිබේ. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80 දක්වා ත් අලි ඇතුන්ගේ ප්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය ම තත්ත්වයට පත් විය. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීය ම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා අවට දිස්ත්‍රික්කවල අලි – මිනිස් ගැටුම තවත් උග්‍ර මට්ටමකට පරිවර්ථනය වනු ඇත.

සෞභාග්යයේ දැක්ම උල්ලංඝනය කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.” එම තවදුරටත් දක්වා ඇත්තේ “වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බව ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමි භාවිතය පිළිබඳ ව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් ද සඳහන් කර ඇත. එපමණක් නොව මෙරට ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත් සඳහන් විය. මෙම ව්‍යාපෘතියට ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හේතුවෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය වී ඇත.

තිරසර සංවර්ධන ඉලක්ක අභියෝගයට ලක් කිරීම

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2015 සැප්තැම්බර් මස 25 වන දින සම්මත කර ගත් 2030 වසරේ සැප්තැම්බර් 30 වන දින වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක 17 ට අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉලක්ක 5 ක් සපුරා ගැනීමට නියමිත ව ඇති බව මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් කර තිබේ. ඒ අනුව දිලිදුකම පිටුදැකීම, සාගින්න දුරු කර ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න යහපත් ජීවන තත්ත්වයක් කිරීම, තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා තිරසර සංවර්ධනය සඳහා ගෝලීය සහභාගීත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

නමුත් මෙම ව්‍යාපෘතියේ ආරම්භයේ සිට ක්‍රියාත්මක වූ පසුගිය වසර තුන තුළ ම මේ සියල්ල ම අවුරා ලංකා සමාගම විසින් උල්ලංඝනය කර ඇත. දිලිදුකම පිටුදැකීම වෙනුවට අද වන විට රාජාංගනය යාය 18 ගම්මානයේ ගොවි ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් හා ගොවි ජනතාව රවටා අත්පත් කර ගෙන ඇති බැවින් ගොවි ජනතාවට වගා කළ හැකි බිම් අහිමි වී ඇත. කෝමාරිකා වගාව තුළින් සාගින්න දුරු කර ආහාර සුරක්ෂිතතාව ඇති කරන බවට සඳහන් කර තිබීමෙන් පෙනී යන්නේ ජනතාව මෙන් ම ජාත්‍යන්තරය ද මුලා කිරීමට මෙම සමාගම උත්සාහ දරන බව ය. ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය හා යහපත් ජීවිතයක් ඇති කිරීම වෙනුවට අද වන විට යාය 18 ගම්මානයේ ජනතාවට සෞඛ්‍ය තර්ජන බොහොමයකට ගොදුරු කිරීම මෙම සමාගම විසින් සිදු කර ඇත. ජනතාවට පානීය ජලය ලබා ගැනීමට ඇති සියලු ප්‍රභවයන් විනාශ කර ඇති අතර ව්‍යාපෘතිය යටතේ කැලෑ එළි කිරීම, පස් කැපීම, ප්‍රවාහන කටයුතු සිදු කිරීම හා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අධික ව දූවිලි පැතිරීම හේතුවෙන් අවට ජනතාවට ස්වසන ආබාධ ඇතුළු සෞඛ්‍ය තර්ජන බොහොමයකට මෙම සමාගමේ හානි කර ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනතාව ගොදුරු වී ඇත.

මෙම තිරසර සංවර්ධන ඉලක්ක පමණක් නොව අද වන විට මෙම සමාගම විසින් වනාන්තර ඇතුළු වගා බිම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අව භාවිත කිරීමට යොමු වීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ව ඒ අවට ප්‍රදේශය දරුණු දේශගුණික විපර්යාසයකට ගොදුරු කිරීමට නියමිත ව ඇත. ඒ හේතුවෙන් ජල අර්බුධ ඇති වීම, ජෛව විවිධත්ව හායනය, මානව ජනාවාස වාසයට නුසුදුසු තත්ත්වයට පරිවර්තනය වීම, වගා බිම් අහිමි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සම්පූර්ණයෙන් බිඳ වැටීම ඇතුළු හානි කර තත්ත්වයන් බොහොමයක් උද්ගතවීමට නියමිත ව ඇත.

මෙම නීති විරෝධී සහ හානි කර ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනතෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථ සාර්ථක කර ගැනීමට විශාල බාධාවක් ඇති කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු වනු ඇත. එපමණක් නොව රටක් ලෙස තිරසර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමට ඇති අවස්ථාවන් අහිමි වීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු වෙමින් තිබේ.

අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් ව්යාපෘතිය ක්රියාත්මක කිරීම

මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලු අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි.

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලු ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත. එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අවස්ථාව සෑම පුරවැසියෙකුට ම ඇත.

329 views



Source link