November 29, 2021

Ada Rata

All news in one location

අද පාර්ලිමේන්තුවෙ වචනවලින් ගහගත්තට මහින්දානන්ද FCID එකෙන් බේරගත්තෙත් මෛත්‍රීලු!



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. මහින්දානන්ද ඇමතිවරයා පසුගියදා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ‘අපිට ගැහුවොත් අපි ගහන්නෙ හිතාගන්න බැරි විදියකට’ යනුවෙනි.

හිටපු ජනාධිපතිවරයා සහ මහින්දානන්ද ඇමතිවරයා අද මෙලෙස රටේම ජනතාවට පෙනෙන්නට කටින් ගහගත්තද එදා ජනාධිපති සිරිසේන සහ විපක්ෂයේ මහින්දානන්ද මන්ත්‍රීවරයා ලෙස ඔවුන් කටයුතු කළේ එකිනෙකාට උදව් කර ගනිමිනි. ඒ රටේ ජනතාවට පෙනෙන්නට නොව බොහෝ දෙනෙකුට හොර රහසේය.

2015 ට පෙර මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා සිදුකළ දුෂණ-වංචා සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේදී චෝදනා එල්ල වූ අතර ඊට අදාලව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හරහා පරීක්ෂණ පැවැත්විණි. එම පරීක්ෂණවලට අදාලව අලුත්ගමගේ මහතා පොලිස් අත්අඩංගුවට පත්වීමට නියමිතව තිබූ අතර ඔහු ඉන් මුදවා ගත්තේ එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පොලිස් අත්අඩංගුවෙන් ගැලවීම සඳහා මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එවක ජනාධිපති සිරිසේන මහතාගේ උදව් ලබා දුන්නේ දයාසිරි ජයසේකර මහතායි. එවකට ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ගම්පොල නගර සභාවේ උප සභාපති ෆුර්කාන් හාජි නමැත්තාගේ වාහනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සමග කොළඹ පැමිණි අලුත්ගමගේ මහතා රීඩ් මාවතේ ලක්පහණ ආයතනය අසලදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමු විය.

එතැන් පටන් මෛත්‍රී-මහින්දානන්ද කපුකම කරන්නේ අද මෛත්‍රී වෙනුවෙන් මහින්දානන්දට පහර දෙන දයාසිරි ජයසේකර මහතායි. 

මහින්දානන්ද අළුත්ගමගේ මහතා දයාසිරි හරහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත මහින්දානන්ද අත්අඩංගුවට ගැනීම වැළකිණි.

අද පාර්ලිමේන්තු සභා ගර්භයේ එකම පැත්තේ සිට එකිනෙකාට බැණ අඬගසා ගන්නා මෛත්‍රී-මහින්දානන්ද එදා කටයුතු කළේ ඒ ආකාරයෙනි.

මෛත්‍රී-මහින්දානන්ද සබඳතාවය පොලිස් කේස් සඳහා පමණක් සීමා නොවූ අතර රාජපක්ෂ පාර්ශ්වයේ සියලු තොරතුරු මෛත්‍රී පාර්ශ්වය වෙත ලැබුණේද මහින්දානන්ද හරහාය. එසේ තොරතුරු ලබාදීම මහින්දානන්ද පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා උපකාරී විය.

මේ පිළිබඳව රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ඉඳා හොඳින් දනී. නාමල් රාජපක්ෂ මහතා සිය සමීපතම ව්‍යාපාරිකයන් පිරිසකට පවසා තිබෙන්නේ ‘මේ යකා තමයි අපේ හැමදේම එළියට ලීක් කරන්නෙ. අපි ඒක හොඳටම දන්නවා. අපි අවස්ථාව එනකං ඉන්නෙ මේ වගේ මැක්කන්ව එළවලා දාන්න.’ යැයි පවසා තිබේ.

ලැබුණු පළමු මොහොතේම රාජපක්ෂලාගෙන් කැපී යන්නට තමාට සිදුවන බව හොඳින්ම දන්නා මහින්දානන්ද අද කෙසේ හෝ ජාමෙ බේරා ගැනීම සඳහා දැන් හතර අතේ වනමින් සිටී. හොඳටම සැර වී තමා පොලීසියේන බේරා ගත් මෛත්‍රීට පහර පිට පහර එල්ල කරන්නේද ඒ් අනුවයි. කෙසේ නමුත් රාජපක්ෂලාගෙන් ලකුණු දමා ගැනීමට කෙතරම් උත්සාහ කළද මහින්දානන්දගේ ලකුණු කැපී අවසානය.

අද මෛත්‍රීගේ කුණු අවුස්සන, මෛත්‍රීට පහර පිට පහර එල්ල කරන මහින්දානන්ද මෛත්‍රී ලඟට ගොස් අනාගතයේ යම් දවසක රාජපක්ෂලාට පහර පිට පහර එල්ල කළද රටේ ජනතාව පුදුම නොවිය යුතුය. අද මහින්දානන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන මෛත්‍රීලා, දයාසිරිලාද ඔහුට හුරේ දමනු ඇත.




Source link