October 27, 2021

Ada Rata

All news in one location

අත්අඩංගුවට ගත් ‍යුද හමුදා මේජර්වරයා ඇප මත මුදා හරී !



වනජීවී නිළධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුද හමුදා මේජර්වරයා ඇප මත මුදාහැරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව අදාල මේජර්වරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා නියෝග කළේ.

ඉකුත් 23 වැනිදා රාත්‍රී මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවරසයෙන් ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට වනජීවී නිළධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී එම නිළධාරීන් හා යුද හමුදා නිළධාරීන් අතර බහින් බස්වීමක් සිදුවී තිබිණි.

මේ සම්බන්ධයෙන් වනජීවි නිළධාරීන් මෙන්ම යුද හමුදා මේජර්වරයාද හබරණ පොලීසිය වෙත පැමිණිලි සිදුකර තිබෙනවා. අදාල යුද හමුදා මේජර්වරයා අද පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් අතර ඉන්පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජ්‍යෙෂ්ට මේජර් ජනරාල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලයක්ද පත්කර ඇති අත යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දන්වා තිබෙන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

UN




Source link